anula-vidyalaya-students-change

නුගේගොඩ අනුලා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඉකුත් 2020 වසරේදී ආදි ශිෂ්‍ය පදනමින් ඇතුළත් කර සිටින සිසුවියන් 6  දෙනකු ඉවත් කර ඒ වෙනුවට වෙනත් සිසුවියන් 6 දෙනකු ඇතුළත් කර ගන්නැයි අධ්‍යාපන ලේකම්වරයා  විදුහල්පතිනියට නියෝග කර ඇත. 


මීට පෙර අනුලාවේ විදුහල්පතිනිය වැඩ තහනමට ලක්වූයේ අයථා ලෙස දරුවන් ඇතුළත් කිරීමේ චෝදනාවකටය. එම කාලයේදී එම සිසුවියගේ මව්පියන් කූට  ලේඛණ සකස්කර ආදිශිෂ්‍ය පදනම යටතේ එම සිසුවියන් ඇතුළත් කර ඇති බවට පැමිණිලි ලැබී තිබූ අතර අධ්‍යාපන අමාත්‍යාංශය අභ්‍යන්තර විගණන අංශය විසින් කරන ලද පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ හෙයින් මෙම පියවර ගන්නා බවද අධ්‍යාපන ලේකම්වරයා අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට කර ඇති ලිඛිත නියෝගයේ සඳහන්ය.




කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් එම මව්පියන්ට එරෙහිව පියවර ගැනීමට පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙසද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා  මහතා විදුහල්පතිනියට යවා ඇති ලිපියේ සඳහන්ය. පාසලෙන් ඉවත් කළ යුතු සිසුවියන්ගේ නම් මෙන්ම ඒ වෙනුවට පාසලට ඇතුළත් කර ගත යුතු සිසුවියන් 6 දෙනකුගේ නම්ද එම ලිපියේ සඳහන් කර ඇත.  අලුතින් ඇතුළත් කර ගැනීමට නියෝග කර ඇති සිසුවියන් 2020 වසරේ පළමු ශ්‍රේණියේ පොරොත්තු ලේඛනයේ සිටි සිසුවියන් වන බවද එහි සඳහන් වේ. ඉවත් කිරිමට නියම කර ඇති සිසුවියෝ මේ වන විට දෙවැනි ශ්‍රේණියට සමත්ව සිටිති.