sudarshani

කොරෝනා නව වයිරස ප්‍රභේදය රටේ ප්‍රදේශ කිහිපයකින් හමුවීමත් සමග මතුවී තිබෙන අවදානම සැලකිල්ලට ගෙන සෞඛ්‍ය නීති රීති තවත් වැඩි කිරීමට රජය තීරණය කර ඇත.මේ යටතේ මංගල උත්සව, අවමංගල්‍ය උත්සව, ප්‍රිය සම්භාෂණ හා රාත්‍රී සමාජශාලා කටයුතු සඳහා දැඩි සීමා පැනවෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  පැවැසුවාය.

සෞඛ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මේ තීරණයට එළඹුණු බව ද ඇය කීවාය.මේ සීමා කිරීම් අනුව සෑම අවමංගල්‍ය උත්සවයක්ම පැය 24කින් අවසන් කළ යුතු වෙයි. මංගල උත්සව සඳහා 150 දෙනකුට සහභාගිවීමට මෙතෙක් අවසර දී තිබූ අතර ඒ සංඛ්‍යාව පනහ දක්වා අඩු කර ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති. නව වයිරස ප්‍රභේදය හා කොවිඩ් ආසාදිතයගේ වර්ධනය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව පවසන එම නිලධාරීහු, සමාජශාලා හා අනෙකුත් උත්සව සඳහා ද විවිධ සීමා පනවා තිබෙන බව සඳහන් කරති.නව කොරෝනා වයිරස ප්‍රභේදය සහිත 16 දෙනෙක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල හමුවූහ.කොරෝනා නව වයිරස ප්‍රභේදය මුල් සාමාන්‍ය වයිරස ප්‍රභේදයට සාපේක්ෂව හැත්තෑ ගුණයක ව්‍යාප්තවීමේ හැකියාවක් පෙන්නුම් කරන්නකැයි වෛද්‍ය පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

(සුජිත් හේවාජුලිගේ)