පාස්කු කොමිසමේ වාර්තාවේ නිර්දේශ වෙනස් කිරීමට අධිකරණ අමාත්‍ය අලී සබ්රී මහතා බලපෑම් සිදු කර ඇති බවට තමන්ට සැකයක් තිබෙන බවත්, එම වාර්තාව  වෙනස්වීම සම්බන්ධව කළ යුතු වන්නේ ඒ පිළිබඳ  කොමිසමක් පත් කිරීම බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.  කොළඹ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.  මේ අතර පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම සිදු කළ  යුතු වන්නේ සහරාන්ට උදව් උපකාර කළ පුද්ගලයන් සොයා දඬුවම් දීම සහ පුනරුත්ථාපනය කිරීම බවත්, එසේ නොමැතිව බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම නොවන බවත් ඥානසාර හිමියෝ පැවසුහ.




 එමෙන්ම දීර්ඝකාලීනව ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සහරාන්ට අවශ්‍යතාවක් තිබු බව පෙනෙන්ට නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් රටේ පාලකයන් සහ ආරක්ෂක අංශද බරපතළ ලෙස අවධානයට ගත යුතු බවත් සඳහන් කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ,  


 "පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා සතුව දැන් තිබෙන්නේ. ඒ අනුව ජනාධිපතිවරයා සතුව තිබෙන මේ  ලියවිලි කොහොමද ඒක මාධ්‍යයක දෙකක  විතරක් පළ වෙන්නේ. ඒක බරපතළ ප්‍රශ්නයක්. මේක හරියට විද්දේ පඳුරට වැදුණේ හාවට කියන අපේ අර ප්‍රස්තා පිරුල වගේ. ඒක තමයි මට වෙලා තිබෙන්නේ. මිනිස්සු බලාපොරොත්තු වුණේ නෑනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ කොමිසම හරහා අපිව වරදකරුවන් කරනවාට. අපි මොන වරදක් කළාටද එහෙම කරන්නේ. මම හිතන්නේ   එවැනි කැකිල්ලේ නඩු තීන්දු වගේ ඒවා මේ කොමිසමේ ඇති කියලා, පාස්කු ප්‍රහාරයෙන් පසු වීරයෝ ගොඩක් බිහි වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ මොළකරුවන් සියල්ල අද නිදැල්ලේ. ඒක වුණේ කොහොමද කියලා කියන්නත් අපි දන්නේ නෑ. ඒ නිසා අපිට පේනවා මෙතන මොකක් හෝ නොවිය යුත්තක් වෙනවා.


කවුරු මොන වැඩ කළත් ඒක එක න්‍යාය පත‍්‍ර තියාගෙන අපිව වට්ටන්න, අනාගත දේශපාලන වාසි ගන්න උත්සහ කරන පල් හොරෙක් මේ කොමිසම අස්සට ගියාද කියලා අපි දන්නේ නෑ. මට තවම නොතේරේන දේ තමයි තවම හොයනවා සහරාන්ගේ නායකයා කවුද කියලා. සහරාන්ගේ නායකයා තමයි අල්ලා දෙවියන්. එයාව දැකලා නෑනේ කවුරුවත්. ඒකට කවුරුත් කලබල වෙන්න ඕනී නෑ. සහරාන්ලාගේ ක්‍රියාකාරකම් අඩුම තරමේ නබි තුමාවත් අනුගමනය කරන්නේ නෑ . දීර්ඝකාලීනව ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න සහරාන්ට අවශ්‍යතාවක් තිබූ බව පේන්න නෑ. ඒක අපේ පාලකයොත්, රටේ ආරක්ෂක අංශත් බරපතළ ලෙස අවධානයට ගත යුතු කාරණයක් ඒක. ඔවුන්ගේ අරමුණ තමයි මිථ්‍යා දෘෂ්ඨිකයෝ හොයාගෙන ස්වර්ගයට යන එක.




සහරාන්ගේ නායකයා ඇවිල්ලා මේ අන්තවාදී ඉගැන්වීම. ඒ අනුව ඉඳලා තමයි මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ඕනි. එහෙම නැතුව බොදු බල සේනාව තහනම් කරන එක නෙවෙයි. අපි ඒ වෙලාවට බලමු. අපිත් මේක ලේසියෙන් අතඅරින්නේ නෑ.  වහාම සිදු කළ යුතු වන්නේ සහරාන්ට උදව් උපකාර කළ පුද්ගලයන් හොයලා අදාළ දඬුවම් දීලා අනිත් පැත්තෙන් පුනරුත්තාපනය කළ යුතුයි. ඒ වගේම ත්‍රස්තවාදීන් බිහිවෙන ඔවුන්ගේ ජාලය තවම අඩපණ වෙලා නෑ. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඒ හා ගොඩනැගුන මතවාද පිළිබඳ සොයා බලන්නේ නැතිව අලී සබිරි එක එක වෙලාවට දාන පන්දුවලට පහර දිදී ඉන්නවා. අලි සබ්රී රටේ නායකයා නෙවෙයිනේ. එයා අධිකරණ ඇමති විතරයි. මම කලින් දවසකත් කිවා වගේ අලී සබිරි ඕනවට වැඩියි.


එක්කෝ ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන කනෙන් අල්ලලා එළියට දාන්න ඕනි. අපි කතාකරන්නේ එක රටක් එක නීතියක් ගැන. එයා ඇවිල්ලා කතා කරනවා විහාර දේවාලගම් පනත් අයින් කරන්න. දැන් මේ වාර්තාවේ පිටු ලක්ෂණයක් තිබෙනවාලු. ඉතින් අපි සංවිධානයක් ලෙස ඉල්ලලා තිබෙනවා අපි සම්බන්ධයෙන් තිබෙන නිර්දේශ අපිට ලබා දෙන්න කියලා.


මේ කොමිසමේ මුලදී තිබුණු හැසිරීමයි අවසාන වාර්තාව එන විට මොකක්ද වුණේ  කියන එක ගැන ඇත්තටම හොයන්න  ඕනි. ඇත්තටම ඒ ගැන හොයන්න වෙනම කොමිසමක් පත් කරන්න ඕනි. මට සැකයක් තියෙනවා අලි සබ්රීත් මේ  කොමිසමේ   බලහත්කාරකම් කරලා මේ නිදේශ වෙනස් කරන්න කටයුතු කළාද කියලා”යැයිද පැවසූහ.


 -දිනේෂ් සමරකෝන්-