sri-lanka-west-indies

හෙට (23දා) පෙරවරුවේදී කොදෙව් බලා යන 20 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි-20 හා එක්දින
සංචිතයක් මේ වනවිට නම් කර ඇතැයි වාර්තා වේ.
 
ඒ අනුව මේ වනවිට ඇමැති අනුමැතියට යවා ඇති එම සංචිතයට 22 හැවිරිදි පැතුම් නිශ්ශංකට හා අශේන්
බණ්ඩාරට අමතරව එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ 25 හැවිරිදි රමේෂ් මෙන්ඩිස්ට පළමු වරට
විස්සයි-20 හා එක්දින සංචිතවල ස්ථානයක් හිමිව ඇතැයි දැනගන්නට ඇති අතර, වසරක තහනමකින් අනතුරුව
අකිල ධනංජයට මෙන්ම වසර දෙකකට පසු කමිඳු මෙන්ඩිස්ට සංචිතයේ ස්ථානයක් වෙන්ව තිබීමද විශේෂත්වයකි.

එහිදී අකිල ධනංජය 2019 වසරේ ජූලි හා සැප්තැම්බර් මාසවලදී අවසන් ලෙස එක්දින හා විස්සයි-20
තරගයකට සහභාගි වී ඇති අතර, කමිඳු මෙන්ඩිස් 2019 මාර්තු මාසයේදී අවසන් එක්දින හා විස්සයි-20
තරගයකට සහභාගි වී තිබීමද කැපීපෙනේ.

මේ අතර ආබාධයක් හේතුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට සහභාගි නොවූ අවිශ්ක ප්‍රනාන්දුට හා
ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත් වූ කුසල් ජනිත් පෙරේරා නම් කර ඇති විස්සයි-20 හා එක්දින
සංචිතයෙන් ඉවත් කර ඇති නමුත් ආබාධයක් හේතුවෙන් ධනංජය ද සිල්වාට, ඉසුරු උදානට හා භානුක
රාජපක්‍ෂට විස්සයි-20 හා එක්දින තරගාවලිය අහිමි වී ඇතැයිද දැනගන්නට ඇත.  



තවද නම් කර ඇතැයි සැලකෙන එක්දින හා විස්සයි-20 කණ්ඩායම්වල නායකත්ව පිළිවෙළින් දිමුත්
කරුණාරත්නට හා දසුන් ශානකට හිමිව ඇතැයි පැවැසේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී විස්සයි-20 තරග තුනකටත්, එක්දින තරග 3කට හා ටෙස්ට්
තරග දෙකකට සහභාගි වන අතර, විස්සයි-20 තරගාවලිය මාර්තු 3වැනිදාත්, එක්දින තරගාවලිය මාර්තු
10වැනිදා හා ටෙස්ට් තරගාවලිය මාර්තු 21වැනිදා ආරම්භ වීමට නියමිතය.

කෙසේ වෙතත් මාර්තු 3වැනිදා පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය එරට වේලාවෙන් පස්වරු 6.00ට
ආරම්භ වන නමුත් තරගය පැවැත්වෙන ඇන්ටිගුවා නගරයේ හා ශ්‍රී ලංකාවේ කාලය අතර පැය 9.30ක
කාල පරතරයක් ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට එම විස්සයි-20 තරගාවලියේ තරග දැකගත
හැක්කේ එදිනට පසුදින පෙරවරු 3.30ටය.  

නම් කර ඇතැයි සැලකෙන ශ්‍රී ලංකා එක්දින හා විස්සයි-20 සංචිතය - දිමුත් කරුණාරත්න (එක්දින
නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල,
ඕෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, දසුන් ශානක (විස්සයි-20 නායක), තිසර පෙරේරා,
රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, හසිත ප්‍රනාන්දු,
ඩිල්ෂාන් මධුසංක, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය



තරග කාලසටහන

මාර්තු 3 - පළමු විස්සයි-20 තරගය - පස්වරු 6.00ට  (ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 4 _ උදෑසන
03.30ට)

මාර්තු 6 - දෙවැනි විස්සයි-20 - පස්වරු 6.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 7 _ උදෑසන 03.30ට)

මාර්තු 8 - තෙවැනි විස්සයි-20 - පස්වරු 6.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 9 _ උදෑසන 03.30ට)

මාර්තු 10 _ පළමු එක්දින තරගය _ පෙරවරු 09.30ට  (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.00)

මාර්තු 12 - දෙවැනි එක්දින තරගය _ පෙරවරු 09.30ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.00)

මාර්තු 14 - තෙවැනි එක්දින තරගය _ පස්වරු 1.30ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.00)

මාර්තු 21-25 _ පළමු ටෙස්ට් තරගය _ පෙරවරු 10.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30)

මාර්තු  29-අප්‍රේ-02 - දෙවැනි ටෙස්ට් තරගය -

පෙරවරු 10.00 (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30)


විචිත්‍ර වීරසිංහ