කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු කල්බදු ක්‍රමය යටතේ ලබාගෙන තිබූ සුඛෝපභෝගී කාර් රථයක් මාසික වාරික ගෙවා ගැනීමට නොහැකිව තිබියදී කල්බදු වාරික ගෙවා දීමේ පොරොන්දුව මත ලබාගත් පුද්ගලයකු වංචාසහගත ආකාරයෙන් කූඨ ලේඛන සහ අංක තහඩු සකස් කර වෙනත් පුද්ගලයකෙට විකුණා තිබියදී සොයා ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සමත් විය.
 


බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වංචාව සිදුකළ සැකකරු රුපියල් කෝටි එකහමාරකට ආසන්න වාහන දෙකක් මෙන්ම ව්‍යාජ ලෙස සැකසු අංක තහඩු 02ක්, ව්‍යාජ චාහන ලියාපදිංචි පොත් කිහිපයක්, කූඨ ලේඛන තොගයක් පෙරේදා 20 වැනිදා සවස අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය පැවසීය. එවැනිම ආකාරයෙන් ව්‍යාජ අංක තහඩු සහ ලියාපදිංචි පොත් සකසා විකිණීමට තිබූ කැබ් රථයද පොලිසිය විසින් සොයාගෙන තිබිණි. මෙම රථය කුඨ ලේඛන සකස් කර විකිණීම සඳහා සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය. ඉකුත් සති කිහිපයකට ඉහතදී මුල්ලේරියාව පොලිස් ස්ථානය සිදුකළ විමර්ශනයකදී වාහන වංචා කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි අයකු බවත් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.



පූගොඩ, ඌරාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු 39 වැනි වියේ පසුවන දෙදරු පියකු බවත් රැකියාව වශයෙන් පරිගණක විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය. මෙම වංචාව කණ්ඩායමක් සමග එකතුව සිදුකර ඇති එකක් බවත් කුඨ ලේඛන සකස් කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරනා නිලධාරීන් මේ සඳහා සහභාගි වී ඇත්දැයි විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මෙම සැකකරු කෝටි දෙකකට ආසන්න වාහන මේ ආකාරයෙන් වංචාසහගතව විකුණා ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලීසිය පැවසීය.සැකකරු මෙම ජාවාරම ගහ ප්‍රදේශයෙන් ලබාගත් කුලී නිවෙසක රැඳී සිටිමින් සිදුකර ඇති බවත් කූඨ ලේඛන සකස් කර විකුණා ඇති වාහන කීපයක තොරතුරු සොයාගෙන ඇති බවත් එම වාහන හා මෙම සැකකරුට උදව් කළ අනෙක් පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද  පොලිසිය පැවැසීය.

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)