කෑගල්ල නගරයේ පවත්වාගෙන යන හෝටලයක හිමිකරු සහ පවුලේ සාමාජිකයන් පස්දෙනකු නිරෝධායනය
කිරීමට එම නිවෙසට ගිය රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මොළගොඩ මහජන සෞඛ්‍ය
පරීක්ෂක ඩබ්ලිව්. යමීන් මහතා එම නිවෙසේ බල්ලා සපා කෑමෙන් තුවාල ලබා තිබෙන බව ඉකුත් 20දා
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශයකු සඳහන් කළේය.



මොළගොඩ, මාහීන්තැන්න ග්‍රාමයේ පදිංචි මෙම හෝටෙල් හිමිකරුගේ නිවෙස වෙත යෑමට මත්තෙන්
දුරකථනයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිවෙස් හිමිකරුට දැනුම් දී තිබුණත් බල්ලා බැඳ නොතිබීම
හේතුවෙන් නිවාසයට යන මාර්ගයට ප්‍රවේශ වීමත් සමඟ තමාව පෙරළාගෙන සපා කෑ බව මහජන
සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. යමීන් මහතා පැවැසීය.

බල්ලා තමා පෙරළාගෙන සපා කන අවස්ථාවේ අසල නිවෙසක කිහිපදෙනකු පැමිණ බල්ලාට පහර දී
පලවාහැර තමා මුදවා ගත් බවද ඒ මහතා පැවැසීය.

සිද්ධියෙන් තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයටද දැඩි අලාභහානි සිදුවී
රාජකාරි වාර්තාද අස්ථානගතවී ඇති බවද  අප කළ විමසීමකදී පැවැසීය.



නිරෝධායනයට යෑමට මත්තෙන් නිවෙස් හිමියා වෙත දුරකථන ඇමතුමක් ලබාදුන්නත් බල්ලා බැඳ නොතිබීම
හේතුවෙන් මෙම සිද්ධියට මුහුණපෑමට සිදුවූ බවත් තමා තුවාල ලබා ප්‍රතිකාර ලබාගත් අතර මෙම සිද්ධිය
පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා දැනුවත්
කිරීමෙන් අනතුරුව ඒ මහතාගේ උපදෙස් පරිදි නිතී මඟින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු
සිදුකරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය.


පින්නවල _ ගයාන් රාජපක්ෂ