railway-department-fraud

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු තම නිල රථය අවභාවිත කර අනතුරකට ලක් කළ සිද්ධිය යට ගැසීමට කටයුතු කරමින් තිබෙන බවත්, අදාළ අලාභය සාමාන්‍ය  සේවකයෙකුගෙන් අය කර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් 

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.  දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙකුගෙන් සුළු අතපසු වීමක් සිදුවුවත් දෙපාර්තමේන්තුව අදාළ සේවකයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග  ගැනීම හා අලාභයක් සිදුව තිබුණහොත් කඩිනමින් අලාභය අය කර ගැනීමට කටයුතු කරන බවද එම සංගමයේ සමකැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පැවසීය.

අදාළ නිලධාරියාට මෙම වාහනය ලබාදී තිබෙන්නේ, රාජකාරි  කටයුතු සඳහා බවත්, වාහනයට දෙපාර්තමේන්තුව විසින් රියැදුරෙකුද ලබාදී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.  එසේ තිබියදී මෙම නිලධාරියා විසින් පවුලේ පිරිස් සමග වන්දනා ගමනක් ගොස් තිබෙන බවත්, එසේ ගමන් කිරීමේදී වාහනය රිය අනතුරට පත්ව ඇති බවත් එස්.පී. විතානගේ මහතා ප්‍රකාශ කළේය.



එම අවස්ථාවේදී වාහනයේ රියැදුරු ලෙස කටයුතු කර තිබෙන්නේ, අදාළ නිලධාරියා විසින් බවත්, රියැදුරෙකු ලබාදී තිබෙන නිසා අදාළ වාහන ධාවනය කිරීමට නිලධාරියාට නොහැකි බවත් හෙතෙම පැවසීය.


මෙලෙස අනතුරට පත් නිල වාහන පෞද්ගලික ස්ථානයකින් අලුත්වැඩියා කර තිබෙන බවත්, දෙපාර්තමේන්තු වාහනවල අලුත්වැඩියා කටයුතු  පෞද්ගලික අංශයෙන් සිදුකළ නොහැකි බවත් පවසා සිටි ඒ මහතා, එවැනි කටයුතු කිරීමට දෙපාර්තමේන්තුව සතුව පහසුකම් තිබෙන බවද පවසා සිටියේය.  පෞද්ගලික අංශයෙන් වාහනය සකස් කර ඒ සඳහා වියදම් වූ මුදල අනුරාධපුර ධාවනාගාර සේවකයෙකුගෙන් අය කර ගැනීමට උත්සාහ කරමින් තිබෙන බවත්, එහෙත් දෙපාර්තමේන්තුව අදාළ නිලධාරියාට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එස්.පී. විතානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


මේ නිසා මේ පිළිබඳ රාජ්‍ය සේවා  කොමිෂන් සභාවට පැමිණිලි කළ බවත්, නිල වාහනය පෞද්ගලික කටයුත්තකට යොදා ගැනීම, රියැදුරු නොමැතිව රථය ධාවනය කිරීම, පෞද්ගලික ස්ථානයකින් වාහනය සකස් කිරීම නීතිවිරෝධී බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

-එච්.අයි. තුෂාර-