kotte municipal council

කොරෝනා වයිරසය ආසාදනය වී තිබියදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මාසික සභාවාරයට පැමිණි බව කියන මන්ත්‍රීවරයකු ප්‍රතිකාර සඳහාත් එම අවස්ථාවේ ඔහු අසල වාඩි වී සිටි මන්ත්‍රීවරු කිහිප දෙනකු ස්වයං නිරෝධානයට යොමු කිරිමටත් 9 දා කටයුතු  කළ බව සෞඛ්‍ය අංශ පවසයි.   මේ සම්බන්ධයෙන් කෝට්ටේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයකු බව ඔහු සභාවේ අසුන් ගෙන සිටියදී තමාට සෞඛ්‍ය අංශ වෙතින් ලැබුණ දැනුම් දීමකට අනුව සෞඛ්‍යාරක්ෂිත පියවර ගත් බවයි.




ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ පෙබරවාරි මාසය සඳහා වූ මාසික  සභාවාරය කෝට්ටේ පුරපති අයි.ඒ.වී. ප්‍රේමලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මහ නගර සභා ප්‍රධාන ශාලාවේ 9 වනදා පැවැත්විණි. මන්ත්‍රීවරයා පසුගිය දිනක පෞද්ගලික රෝහලක දියවැඩියා රෝගයක් සම්බන්ධයෙන් ප්‍රථිකාර ලබමින් සිටියදී සිදුකර ඇති පරික්ෂණවලදී ආසාදිතයකු නොවන බව තහවුරු වී ඇති බවත් ඉන් අනතුරුව දෙවනුව පී.සී.ආර්. පරික්ෂණයක්ද සිදුකර තිබියදී එම  වාර්තාව ලැබීමට පෙර ඔහු දියවැඩියාවට ප්‍රතිකාර ලබා සිය නිවසට පැමිණ ඇතැයි  වෛද්‍යවරයා පැවසීය.




නිවසට පැමිණි මන්ත්‍රීවරයා රෝහලෙන් පිට වීමට පෙර සිදුකළ බව කියන පී.සී.ආර්. පරික්ෂණයේ ප්‍රතිඵල 9 දින ඔහු මාසික සභාවේ සිටියදී තමා වෙත අදාළ සෞඛ්‍ය අංශ දැනුම් දුන් බව මහජන සෞඛ්‍ය වෛද්‍යවරයා කීය.  අද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා සභාවාරය පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ පවත්වා ඇති අතර මෙම සභා වාරයට බොහොමයක් මන්ත්‍රීවරු පැමිණ නොසිටි බවද වාර්තා වී ඇත. මන්ත්‍රීවරයාද සමග ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත නාගරික මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව හතරකි.


 -තරංගනී ෆොන්සේකා-