කෝවිඩ්-19 රෝගීන් හඳුනාගැනීමේදී හා පුද්ගලයන් නිරෝධායනයට ලක්කිරීමේදී සෞඛ්‍ය අංශ මෙන් විශාල කාර්යභාරයක් සිදුකරන පොලිස් නිලධාරීන්ටද කෝවිඩ්-19 එන්නත ලබාදීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදය සඳහන් කරයි.

පොදුවේ ජනතාව සමග ළඟින්ම කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් අතර, ප්‍රමුඛස්ථානයක් පොලිස් නිලධාරින්ට හිමිවන බවත්, මේ හේතුවෙන් සමස්ත පොලිස් නිලධාරීන්ටම කෝවිඩ්-19 එන්නත ලබාදිය යුතු බවත් එම සංගමයේ ලේකම් වෙදගේ ප්‍රසාද් මහතා සඳහන් කළේය.කෝවිඩ්-19 එන්නත ලබාදීම යටතේ යම් පොලිස් නිලධාරීන් ප්‍රමාණයකට කෝවිඩ්-19 එන්නත ලබාදී තිබෙන බවත්, එහෙත් සමස්ත ලංකාවම ආවරණය වන පරිදි මෙම වෛරසයට අදාළව අතිවිශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් රාජකාරී කටයුතුවල නිරත වන බවත් ඒ මහතා පවසා සිටියේය.



මීට අමතරව මාර්ග රාජකාරි කටයුතු කිරීම සහ හදිසි අනතුරු අවස්ථාවේදී අදාළ ස්ථාන වෙත ක්ෂණිකව ගමන් කිරීම හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා රාජකාවල පොලිස් නිලධාරීන් පැය 24 පුරාම රාජකාරී කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.මේ හේතුවෙන් කෝවිඩ්-19 තත්වයෙන් සමස්ත පොලිස් නිලධාරීන්ම ආරක්ෂා කළ යුතු බවත්, මේ නිසා ජනතාවට කෝවිඩ්-19 එන්නත ලබාදීමට සමගාමීව සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කෝවිඩ්-19 එන්නත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් වෛදගේ ප්‍රසාද් මහතා පවසා සිටියේය.

(එච්.අයි. තුෂාර)