police-court

පොලීසියේ විවිධ තනතුරුවලට අයත් නිලධාරීන් 31,OOOකට අධික පිරිසකට එක්වරක් පමණක් බලපාන උසස්වීම් ලබා දී ඇතත් පොලිස් රියැදුරු තනතුරු දැරූ  නිලධාරීන්ට පමණක් එම උසස්වීම් ලබානොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් පොලීස් රියැදුරන් ලෙස රාජකාරි කරන කොස්තාපල්වරු හා සැරයන්වරු  235 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළහ.අවුරුදු 12 සිට අවුරුදු 18 දක්වා කාලය තුළ උසස්වීම් නොලැබීමෙන් අසාධාරණයට ලක්ව, රැකියාව පිළිබඳ අතෘප්තියට හා මානසික පීඩාවට ලක්ව ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයන්ද නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් බුවනෙක අලුවිහාරේ ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස අවසර දුන්නේය.



පොලිස් රියැදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරුන් 210 දෙනෙකු හා පොලිස් රියැදුරන් ලෙස රාජකාරි කරන සැරයන්වරුන් 25දෙනෙකු ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, පොලිස් කොමිසම, එහි සභාපතිවරයා හා සාමාජිකයින් ඇතුළු 11දෙනෙකු මෙහි වගඋත්කරකරුවන් වශයෙන් නම් කොට ඇත. සේවා කාලය, අත්දැකීම් හා මූලික සුදුසුකම් උපයාගෙන සිටින නිලධාරීන්ට නිසි කලට උසස්වීම් නොලැබීම පොලීසියේ බහුතර නිලධාරීන් මුහුණදෙන ගැටලුවක් බවත්, ඒ පිළිබඳ සලකා 2019 ජනවාරි 01, ජුලි 01 සහ 2020 ජනවාරි 01 දිනවල පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා නිලධාරීන් 31,500කට එකවරක් පමණක් ලැබිය හැකි උසස්වීම් ලැබුණු බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ කෙසේ නමුත් පොලිස් සාමාන්‍ය සේවයේ රියැදුරන් ලෙස රාජකාරි කරන රියැදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරුන් හා සැරයන්වරුන් නොසලකා මෙම උසස්වීම් ලබා දී ඇති බවත් සඳහන් කරති.

එකවරක් පමණක් ලැබිය හැකි උසස්වීම් යෝජනාවලියෙන් ඉවත් කොට සිටි පොලිස් සහායක සේවා නිලධාරීන් ලෙස සලකන යාන්ත්‍රික, කාර්මික, අරක්කැමි යන නිලයන් දැරූ කොස්තාපල්වරුන්ද 2019 ජනවාරි මස පළමුවැනිදා සිට පොලිස් සැරයන් තනතුරුට උසස් කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ තමන්ට සිදුවන අසාධාරණය පිළිබඳ පොලිස්පතිවරයා සමග කළ සාකච්ඡාවලදී මෙම නිලයන්ටද උසස්වීම් ලබාදෙන බව වාචිකව පැවසුවත් මේ දක්වා අදාළ උසස්වීම් ලබා දී නොමැති බවත්, එය පරිපාලනමය දෝෂයක් බවත් පෙන්වා දෙති.තමන්ට පහළින් සිටි නිලධාරීන්ද එකවරක් පමණක් ලැබිය හැකි උසස්වීම් මත ඉහළ නිලවලට පත්වී සිටීමෙන් දැඩි කලකිරීමට හා පවුලේ ඥාතීන්ටද මුහුණදිය නොහැකි තත්වයට පත්ව සිටින තමන් සිය රැකියාව පිළිබඳ අතෘප්තියට හා දැඩි චිත්ත පීඩාවට පත්ව ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ ඔවුන්ට නිසි උසස්වීම් ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටිති. මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා කරුණු ඉදිරිපත් කරමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්ද නම් කළ හැකි හෙයින් ඔවුන් වගඋත්තරකරුවන් වශයෙන් නම් කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා අවසර දුන් විනිසුරු මඬුල්ල මෙම පෙත්සම් මැයි මස 03 වැනිදා යළි කැඳවීමට නියම කළේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සජිනි ඇල්විටිගල මෙනවිය සමග නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය.

 (බුද්ධිමාල් රුබේරු)