parliament-sri-lanka

රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා සහ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරු අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සහතික සම්බන්ධයෙන් ඇති වූ වචන හුවමාරුවක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් ඊයේ (23) පෙරවරුවේ ඇති විය. මේ අවස්ථාවේදී ලාන්සා දෙසට හැරුණු  හරීන් “පාස්කු කොමිසමේ වාර්තාවේ කරුණු ගැන හොයන්න පත්කරපු ඇමැති කමිටුවේ ඕලෙවල් පාස් නැති අය ඉන්නවා කියලා කාදිනල්තුමා ප්‍රකාශයක් කරලා තිබුණා. 

මේ හැසිරෙන කෑගහන උන්ටත් ඕලෙවල් නැහැ. ඒක පේනවා. ඒ නිසා ගරු  කතානායකතුමනි, මේ සභාවේ ඕලෙවල් පාස් අය කවුද, ඕලෙවල් ෆේල් අය කවුද කියලා ඔබතුමා ප්‍රකාශයක් කරන්න ඕන. ඔබතුමා ඒක කරලා දෙන්නකෝ. පිස්සෝ ටිකක් මෙතන යකා නටනවා” යැයි පැවැසුවේ මහ සද්දෙනි.


මේ අවස්ථාවේදී නැගී සිටි නිමල් ලාන්සා රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේ පාස්කු  කොමිෂන් වාර්තාව ගැන කතා කිරීම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවයි. “හරින් තුන්සීයක් මැරෙනකම් ඉඳලා ගෙදර ගිහින් බුදියගත්ත කෙනා. ඕලෙවල් ෆේල් වෙලා ඉන්නේ හරින්. ඔයා ඕලෙවල් පාස් ද කියලා ඉස්සෙල්ලා කියලා ඉන්න. සාන්ත ජෝෂප් විද්‍යාලයට ගිහින් බැලුවොත් හරින් ඕලෙවල් ෆේල් .මම හරින් මන්ත්‍රීතුමාට ඉතාම පැහැදිලිව කියනවා විදුරු  ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා කියලා." ලාන්සා තවදුරටත් කියාගෙන ගියේ හරින් දෙසට ඇඟිල්ලක් ද උලුක් කරමිනි.


මෙහිදී යළිත් වරක් නැගී සිටි හරින් ප්‍රනාන්දු ලාන්සා ඇමැතිතුමාට මම මුලින්ම කියනවා මගේ නම අරීන් නොවෙයි හරින්.   මේයාට හයන්න කියන්න බැහැ. මොකද අධ්‍යාපනයක් නැහැ. මගේ අධ්‍යාපන  සුදුසුකම් මම හෙට සභාගත කරනවා. මම  ලාන්සාටත් කියනවා ඕලෙවල් සහතිකය සභාගත කරන්න කියලා" යැයි පැවැසුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීමේ මධ්‍යයේය.


“ඒකල පැත්තේ ගෑනු කෙනෙක් ඇමැතිවරයකුට සෙරෙප්පුවෙන් ගහලා තියෙනවා. සෙරප්පුවෙන් ගැහුවේ කාට ද ඒකත් හොයන්න ඕන" හරින් කීවේ සිනාසෙමිනි.  හරින්ගේ ඒ කතාවට ප්‍රතිචාර දැක්වූ කතානායකවරයා “ඒක මෙතැනට අදාළ නැහැ" යැයි කීවේ මද සිනාවක් ද මුවඟ රඳවාගෙනය.


මේ අතර පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම බාධා කිරීම නිසා ඔහුට යකා නැග්ගේය.  




“තමුසේ ඉඳගන්නවා ඕයි. මේ පිස්සා  පාලනය කරන්න. මේ බල්ලා බැඳලා දාන්න” යනුවෙන් නිරෝෂන් මහ හයියෙන් කෑගැහුවේ මේ නිසාය. රත්නපුරේ හේෂා විතානගේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිලගෙන් ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවේදී දෙදෙනා අතර ද සභාවේ කටයුතු ආරම්භයේදී වාදයක් ඇති විය.


හේෂා උදයට ප්‍රශ්නය යොමු කරමින්, චෝදනා කළේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් අසත්‍ය දෙයක් පවසමින් ඇමැතිවරයා ජනතාව නොමඟ යැවූ බවයි. ගම්මන්පිල මහතාගේ කතාව අසා සිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතා එයාට පිස්සු යනුවෙන් පවසා ඇතැයි ද හේෂා මෙහිදී කීවේය. හේෂාගේ ඒ කතාවත් සමග වහා නැගී සිටී උදය ගම්මන්පිල, “අපේ අගමැතිතුමා මානසික වෛද්‍යවරයකුගේ කාර්යභාරය  නොකරන බව මට විශ්වාසයි. නමුත් එතුමා ඒ වැඩේ පටන් ගත්තොත් නම් තමුන්නාන්සේගෙන් තමයි ආරම්භ කරන්න  වෙන්නේ. ඇඹිලිපිටියටම ඇවිල්ලා හොඳට පරික්ෂා කරාවි" යැයි පැවැසුවේ උපහාසයෙනි.


ගම්මන්පිල කී ඒ කතාවට බොහෝදෙනකු සිනාසුණේ බඩවල් අල්ලාගෙනය.  උදය හේෂාගේ චෝදනාවට පිළිතුරු  දෙමින් ඉන්දියාවේ පුවත්පතක පළවී තිබූ ප්‍රවෘත්තියක් සභාව හමුවේ දිග හැරියේ ඉංග්‍රීසියෙනි. ඔහු එසේ ඉංග්‍රීසි වාක්‍ය කාණ්ඩ කිහිපය පවසද්දී හේෂා උදයට දිගින් දිගටම බාධා කරන්නට වූ හෙයින් මෙහිදී හේෂා දෙසට හැරුණු උදය “ඇයි ඔයාට ඉංග්‍රීසි  තෙරෙන්නේ නැද්ද" යනුවෙන් විමසුවේ ද  උපහාසයෙනි.


“ඔබතුමා හතරේ පන්තියටවත් යන්න ඇතින්නේ. හතරේ පන්තියට ගියා නම් ඒ වචන ටික තේරුම් ගන්න අමාරු වෙන එකක් නැහැ." යැයි ද උදය තවදුරටත් පැවැසූ අතර හේෂා ඒ අවස්ථාවේදී උදයට තවත් මොන මොනවදෝ පවසා වාඩිවෙනු දක්නට ලැබිණ.  


සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගැන ඊයේ නැවතත් කතා කළහ. මේ ගැන කතාබස් කරද්දී ද සභා ගැබේ ඇති වූයේ නොසන්සුන් තත්වයකි.


“රජන්ට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව නැහැ. එතුමා ඉන්නේ  කුඩුකාරයගේ පාතාලකාරයන්ගේ  ගොඩෙයි. රන්ජන් හැකි ඉක්මනින්ම වැලිකඩ බන්ධනාගාරයට යවන්න කියලා මම ඉල්ලනවා" යැයි විපක්ෂ නායක සජිත් කීවේය.  මෙහිදී නැගී සිටි බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ පැවැසුවේ රන්ජන් රඳවා සිටිනුයේ වැඩිම ආරක්ෂාව සහිත බන්ධනාගාරයේ හෙයින් ඔහුගේ ජීවිතය ගැන වගකීම තමා බාරගන්නා බවයි.  ලොහාගේ කතාවෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ ගැන යළිත් කතා කිරීමට ගියේ නැත.


 -සුජිත් හේවාජුලිගේ-