money-central-bank

රටපුරා පාරිභෝගික ජනතාවට මුදල් පරිහරණයකින් තොරව සාමාන්‍ය ගනුදෙනු සිදුකිරිම සඳහා 'ලංකා කිව් ආර්'(Lanka QR)නමින් ඩිජිටල් ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී තිබේ.ජංගම දුරකතනයක් හිමි ඕනෑම පුද්ගලයකුට ලංකා කිව්.ආර් ඇප් එක යොදාගෙන සාමාන්‍ය වෙළඳසලකින් හෝ වෙනත් ඕනෑම විශාල වෙළෙඳසලකින් තමාට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් මිලදී ගත හැකි අතර පාරිභෝගිකයා විසින් එම ඇප් එක භාවිතකර අදාළ මුදල් ගෙවූවිට වෙළෙඳ සල් හිමියාගේ ගිණුමට මුදල් ලැබුණු බවට ඔහුගේ ජංගම දුරකතනයට එවෙලේ කෙටි පණිවුඩයක් ලැබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.මාර්ග දෙපස වෙළඳාම් කරන සුළු පරිමාණ වෙළඳුන්ගෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, 

ත්‍රිරෝද රථයකට කුලිය ගෙවීම ආදීන් කටයුතුවල සිට රෙදි පිළි ගෘහභාණ්ඩ ආදිය මිලදී ගෙන ඒවායේ වටිනාකම සිය ජංගම දුරකතනය මගින් ගෙවීමට ලංකා කිව්.ආර්. ක්‍රමවේදවෙන් හැකියාව ලැබෙන බවද ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.ශ්‍රී ලංකා මහ බැංකුව නව ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වාදුන් අතර ශ්‍රී ලංකාවේ සියලුම වාණිජ බැංකු මූල්‍ය ආයතන මෙන්ම බලපත්‍රලාභී වාණිජ බැංකු ලංකා කිව්.ආර්. ක්‍රමවේදය සමග ඒකාබද්ධව සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ලෙක්ෂ්මන් මහතා පැවසීය.මෙම ක්‍රමවේදය සඳහා අවශ්‍ය වන්නේ පාරිභෝගිකයාට සහ වෙළෙන්දට යන දෙදෙනාට ජංගම දුරකතනයක් තිබීම පමණක් වන අතර භාණ්ඩ මිලදී ගත් පසුව එම මුදල පාරිභෝගිකයාගේ ගිණුමෙන් අඩුවී වෙළෙන්දාගේ ගිණුමට බැරවන හෙයින් මුදල් ස්පර්ශයක් සිදුනොවන බවද ඔහු කීය.

කොවිඩ් වසංගතය හමුවේ මෙම ක්‍රමයට ශීඝ්‍රයෙන් පාරිභෝගිකයන් ඇතුළත් වෙමින් සිටීන බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා ලංකා කිව් ආර්. ක්‍රමවේදය ඉතාම ආරක්ෂාකාරී පහසු හා ක්ෂණික ගෙවීම් ක්‍රමයක් බවද පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් සැප්තැම්බර් මාසයේදී ලංකා කිව්.ආර්. ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වාදුන් අතර මේ දක්වා 19,000 ක් පමණ එම ඇප් එක භාවිත කරන බවද මහාචාර්ය ඩබ්ලිව්. ලක්ෂ්මන් මහතා කීය.මුදල් පරිහරණය මගින් කොවිච් 19 වයිරස ව්‍යාප්තිය ඉහළ මට්ටමකින් සිදුවන බවට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙන හෙයින් මුදල් පරිහරණයකින් තොරව ගනුදෙනු කිරිම සඳහා හඳුන්වාදුන් ලංකා ක්ව්.ආර්. ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේදය ඉතා සාර්ථක බවද මහ බැංකුවේ අධිපතිවරයා කීවේය.ශ්‍රී ලංකා මහ බැංකුවේ ලංකා කිව්.ආර්. ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේදය තෙවැනි නියමු ව්‍යාපෘතිය ඉකුත් 20 වැනිදා ගාල්ලේදී ක්‍රියාත්මක කළ අතර එහිදී ගාල්ල නගරයේ වෙළඳසල් හා පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් එම ගෙවීමේ ක්‍රමය හා සම්බන්ධ වූ බවද එච්.එන්.බී. බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ජොනතන් අලස් මහතා කීය.

 (රංජන් කස්තුරි)