mahindananda aluthgamage

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැනටමත් යවා ඇතැයි එම අමාතයාංශ ආරංචි මාර්ගවලින් පැවැසේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ප්‍රකාශකයකුගෙන් අප කළ විමසුමකදී ඔහු පැවැසුවේ පෞද්ගලික හේතුවක් මත ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බවයි. අප මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට සුමේධ පෙරේරා මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යර්ථ විය.විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා කෘෂිකර්ම අමාතයාංශයේ ලේකම්වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් මැයි මස 19 වැනිදා පත් කරනු ලැබීය.වන්නි ක්‍රියාන්විතයේ මුල් පෙළ අණ දෙන නිලධාරියකු වූ සුමේධ පෙරේරා මහතා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික තනතුරේ අවසන් වරට කටයුතු කරමින් යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබුවේය.අප මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ අමාත්‍යාංශය යන වේගයට ගමන් කිරිමේ හැකියාව නැති හෙයින් ලේකම් තනතුරින් ඉල්ලා අස්වෙන ලෙසට තමා ඔහුට දැනුම් දුන් බවයි.

තමා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද දැනුම් දුන් බව කී ඇමැතිවරයා ජනාධිපතිවරයා ඔහු කැඳවා මේ ගැන සාකච්ඡා කළ බවද සඳහන් කළේය.

 (සුජිත් හේවාජුලිගේ)