haritha aluthge speaks


කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගන්නා අය හා ආසාදිත මරණ සංඛ්‍යා නිසි ලෙස ලේඛන ගත නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් ප්‍රකාශයක් කළ යුතු බව ද හරිත අලුගේ මහතා සඳහන් කළේය.හඳුනාගන්නා රෝගීන් හා සිදුවන මරණ නිසි ලෙස සංඛ්‍යා ලේඛනගත නොවීම හේතුවෙන් ජනතාව හා සෞඛ්‍ය වෘත්තිකයන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි ද වෛද්‍යවරයා කීවේය.

හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදීය.කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.

ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ සිදුවී ඇති මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් තිබෙන බව ද අලුත්ගේ මහතා කීවේය.මරණවලින් සියයට 70ක්ම වයස අවුරුදු 60ට වැඩි අය නිසා ඔවුන්ට එන්නත් ලබාදීම ඉතා වැදගත් බව කී වෛද්‍යවරයා මේ වන විට එන්නත්කරණය සම්බන්ධයෙන් නිසි මාර්ගෝපදේශයක් ක්‍රියාත්මක නොවන බව ද පැවසීය. එන්නත්කරණය සම්බන්ධයෙන් විධිමත් සැලසුමක් මුලදී සකස් කර තිබුණත් මේ වන විට එය වෙනස් වී තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ ද අසීරුතාවට පත්ව ඇතැයි අලුත්ගේ මහතා සඳහන් කළේය.තමන් එන්නත ලබාගත යුත්තේ කෙසේ ද? නිවෙස්වල සිටින රෝගී පුද්ගලයන්ට කඩිනමින් එන්නත ලබාගත හැකි ද ආදිය සම්බන්ධයෙන් ජනතාවට ද නිසි අවබෝධයක් නැතැයි කී වෛද්‍යවරයා නිසි සැලැස්මකින් තොර මෙම කටයුතු හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් විඩාවට පත්ව ඇතැයි ද කීවේය.

   (ඩයනා උදයංගනී)