mahela-sanga-speaks

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයි. පී. එල්. තරගාවලියේ ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයෙකුට අවස්ථාවක් හිමිනොවීම තුළ මෙරට ක්‍රීඩකයන්ට ඒ හරහා යම් පණිවුඩයක් ලබාදී ඇති බව හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම අයි. පී. එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සඳහන් කරයි.    එමෙන්ම හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම මෙවර අයි.පී.එල්. තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කුමාරි සංගක්කාර සඳහන් කරන්නේ ඉදිරියේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නරග කාල සටහන නිශ්චිතව,  නොමැති බැවින් එය මෙවර අයි. පී. එල්. තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ට අවස්ථාව හිමිනොවිමට හේතු වූ බවයි.





ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට (අයි.පී.එල්) ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තෝරා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විදෙස් මාධ්‍ය වෙත ඉහත අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.  මෙහිදී මහේල ජයවර්ධන පවසා ඇත්තේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීම ඔවුන්ට ලබාදුන් හොඳ පණිවුඩයක් බවත්, ශ්‍රීලංකා  ක්‍රීඩකයන් තරගකාරී වීමේ වැදගත්කම මේ තුළින් පෙන්නුම් කරන බවය.  මහේල ජයවර්ධන මේ වනවිට අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන අතර, පසුගියවර ශුරතාව දිනාගත් මුම්බායි කණ්ඩායම්  පුහුණුකරුවාද විය.


ලසිත් මාලිංග ලිග් පිටියෙන් සමු ගැනීමට තීරණය කිරීමත්, රෝයල් වැලෙන්ජර්ස් බැංගලෝර් කණඩායම ඉසුරු උදානව නිදහස් කිරීමට තීරණය කිරීම නිසාත් මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත් වී නැත.  ඊටපසුගියදා නිමා වූ අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මිලදී නොගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කිරීමද ඇතුළත්ය. ඒ අනුව කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අයි.පී.එල්. කණ්ඩායමක සංචිතයකට ඇතුළත්ව නොවී පවත්වන පළමු තරගාවලිය ලෙස මෙම තරගාවලිය ඉතිහාසයට එක්වේ.




 "ටිකක් කනගාටුයි. මේක ගොඩක් අමාරු තැනක්, මොකද විදෙස් ක්‍රීඩකයන්  20දෙනෙකු පමණ තෝරා ගැනීමේදී සහ ඉන් බහුතරයක් වේග පන්දු යවන්නන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් වනවිට මම හිතන්නේ ශ්‍රී ලංකාවේ යම් අඩුවක් පවතිනවා ඒ පැත්තෙන්. අයි.පී.එල්. කියන්නේ ලෝකයේ හොඳම ක්‍රීඩකයන් ලබාගැනීමට උත්සාහ කරන තරගාවලියක්. මෙය හොඳ පණිවිඩයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ක්‍රීඩාව ඉහළ නැවීමට සහ තරගකාරී වීමට. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ කුසලතා මත ඉදිරියේදී අයි.පී.එල්. තරගාවලියේ කොටස්කරුවන් වෙන්න අවස්ථාව හිමි වේව්.” යැයි මහේල ජයවර්ධනගේ අදහස වී තිබේ.  මේ අතර මෙවර අයි.පී.එල්. තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස  කුමාර් සංගක්කාර පත් කර ඇති අතර, සංගක්කාර දරනුයේ මහේලට වඩා වෙනස් මතයකි.


"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග සංචාර වැඩපිළිවෙළ සම්බන්ධයෙන්  තියෙන අවිනිශ්චිතතාව තමයි තීරණාත්මක  සාධකය වෙන්නේ. ඒ නිසා ගොඩක් අමාරුයි අනුමාන කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට  කොපමණ කාලයක් මෙවර තරගාවලියේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙයිද කියලා.  ඒක තමයි ප්‍රධානම හේතුවක් වෙන්නේ මෙවර අයි.පී.එල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක ගැනීමට නොහැකි වීමට. නියත වශයෙන්ම ඔවුන්ට හැකියාවක් හෝ දක්ෂතාවක් නොමැතිකම නිසා නොවෙයි." යැයි සංගක්කාර වැඩිදුරටත් පවසා සිටියේය. පසුගිය 18 වැනිදා පැවැති ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 09දෙනෙකු යෝජිතව සිටියද ඊට ඉදිරිපත්   කෙරුණේ ක්‍රීඩකයන් තිදෙනෙකු පමණි. එහෙත් ඔවුන් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැත.


-පැතුම් ශ්‍රී විජේරත්න-