වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් ලබාදීමේ එකඟතාව පිළිබඳ  පඩිපාලක සභාවේ අවසන් තීරණයක් නොමැතිකමින් එය ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් යමින් තිබේ.  පඩිපාලක සභාව මගින් තීරණය කළ රුපියල් 1000ක දෛනික වැටුප් ලබාදීමේ යෝජනාවට එරෙහිව වතු සමාගම් විසින් විරෝධතා ඉදිරිපත් කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පඩි පාලක සභාව පසුගියදා කැඳවා තිබුණි.  

එසේ වුවද එම පඩිපාලක සභාවේ වතු සමාගමහි නියෝජිත පිරිස සභාගි වී නොතිබූ බැවින් ගනපූර්ණය  නොමැතිකමින් පඩිපාලක සභාව පවත්වාගෙන යාමට නොහැකි වී ඇත.


 පඩිපාලක සභාවේ ගණපූර්ණය සම්පූර්ණ වීමට මුළු සාමාජිකයන්ගෙන් වෘත්තීය සමිති නියෝජ්‍යෝතයින් 02ක්, (වතු හාම්පුතුන්ගේ වතු සමාගම්) නියෝජිතයන් 02ක් සහ කම්කරු අමාත්‍යවරයාගේ නියෝජිතයෙකු සහභාගි වීම ප්‍රමාණවත්ය.එසේවුවද මෙවර පඩිපාලක සභා රැස්වීම සඳහා වතු හාම්පුතුන්ගේ නියෝජිතයන්ගෙන් එක් අයෙකු පමණක් සහභාගි වී ඇති අතර, අනෙකුත් සාමාජිකයන් 06දෙනා සහභාගි වී නොමැත. යම් සාමාජිකයෙකු සහභාගි නොවන්නේන්නම් ඒ පිළිබඳ පූර්ව දැනුම් දීමක්  කළ යුතුව ඇති අතර, මොවුන් එල‍ෙස පූර්ව දැනුම් දීමක් කර නොතිබූ බව කම්කරු  කොමසාරිස්   කාර්යාලය සඳහන් කළේය.




ඝනපූර්ණය නොමැති වීමෙන් අවලංගු වන පඩිපාලක සභා රැස්වීමක් දින 07ක් තුළ යළි රැස්විය යුතු අතර, ඒ අනුව මේ සතියේදී යළි   පඩිපාලක සභාව කැඳවීමට කටයුතු කරන බව  මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කම්කරු  කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා  පැවසීය. පඩිපාලක සභාව විසින් තීරණය කළ  රුපියල් 1000ක දෛනික වැටුප් ලබාදීමේ යෝජනාවට එරෙහිව වතු සමාගම් සහ කුඩා  වතු හිමියන් විසින් විරෝධතා ලිපි 185ක් පමණ යොමු කර තිබුණි. විරෝධතා සලකා බැලීම සඳහා පඩිපාලක සභාව රැස්වී ගනු ලබන තීන්දුව දින 14ක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශ කළ යුතු බව නීතියේ සඳහන් වේ.

 චාමර සම්පත්