kerosine-oil-maharagama

මහරගම නගර සභාව යටතේ පාලනය වන වාහනවලට දෛනිකව ලබාදෙන ඉන්ධනවලට භූමිතෙල් කළවම් කර ලබාදීමේදී වංචාවක් පිළිබඳව වාර්තාවී ඇතැයි මහරගම නාගරික මන්ත්‍රී සුරේෂ් නිශාත්ත මහතා (ජවිපෙ) පැවැසීය. මේ බව අනාවරණය වී ඇත්තේ නගර සභාවට අයත් වාහනයක ඇතිවූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කිරිමට ගිය අවස්ථාවක දී බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.



ලංකා ඛනිජ තෙල් සංස්ථාව නගර සභාවේ දෛනික අවශ්‍යතා සඳහා ඩීසල් ලබාදෙන අතර එලෙස රැගෙන එන ඩීසල් සහිත බවුසරවලට මෙසේ භූමිතෙල් කළවම් කර ඇති බවට අනාවරණය වී ඇතැයි මන්ත්‍රීවරයා පැවැසීය.මේ තත්වය තවදුරටත් පැවැතියහොත් නගර සභාවට අයත් වාහනවල නඩත්තුව පිළිබඳව ඉදිරියේ දී ගැටලු රැසක් මතුවිය හැකි බව ද පැවැසීය.මේ පිළිබද පරික්ෂණයක් සිදුකොට සත්‍ය තත්වය පැහැදිලි කර දෙන ලෙසත් එම පරීක්ෂණය බනිජ තෙල් සංස්ථාව මැදිහත් නොකොට ස්වාධීන ආයතනයක් හරහා සිදුකරන

ලෙසට නගර සභාව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් නාගරික මන්ත්‍රී සුරේෂ් නිශාන්ත වැඩිදුරටත් පැවැසීය.මේ පිළිබඳව මහරගම නගර සභාවේ ලේකම් එස්.ඒ.කේ.එන්. ඉන්ද්‍රජිත් මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මේ පිළිබඳව මාසික සභා රැස්වීමේ දී මන්ත්‍රීවරයකු පැමිණිල්ලක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳව කඩිනමින් පරික්ෂණයක් පවත්වා වරදකරුවන්ට නීතිමය පියවර ගන්නා බවත් පැවැසීය.

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරන්න)