kataragama-flower

කතරගම දේවාලවලට පූජා කරන ඉටි කොළ මල් මාලා වෙනුවට පරිසර හිතකාමී පහසුවෙන් දිරා යන ඉටි කොළ නොවන විකල්ප වර්ණවත් කොළ භාවිත කොට මල් මාලා ගෙතීම පුහුණු කිරිමේ වැඩමුළුවක් කතරගම ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ශිල්ප සභාව හා කතරගම  ප්‍රාදේශිය සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ තුසිත දිසානායක මහතා මෙසේ පැවසීය.






"පරිසරයට හානියක් මෙන්ම ඉටි කොළ මල්මාලාවක් සාදා නිමකිරීමට විශාල මුදලක් වැය කිරීමට නිෂ්පාදකයන්ට සිදු වනවා. නව මල් මාලා ගෙතීමේ ක්‍රමයෙන් පරිසරය සුරකිමින් ඉතා මත් පියකරු හා අලංකාර මල් මාලාවක් නිෂ්පාදනය කිරීමට හැකි අතර නිෂ්පාදකයාට මල් මාලයක් සැකසීමට ඉතා අඩු පිරිවැයක් වැයවීම නිසා ආර්ථික වාසි ලබා ගත හැකියි. මෙමගින් අපේ  මුදල් අප රටේම සැරී සැරීමකුත් සිද්ධ වෙනවා."  මෙහිදී අදහස් දැක්වූ කතරගම ප්‍රදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා මෙසේ පැවසීය.


" ප්‍රාදේශීය සභා අතුරු ව්‍යවස්ථාවක් මගින් ඉටි කොළ හා  ප්ලාස්ටික් කතරගම නගරය හා පූජා භූමියෙහි තහනම් කිරීමට  පියවර ගත්නවා. දැනට තිබෙන ඉටි කොළ හා ප්ලාස්ටික් එළඹෙන  ජුනි පළමුවැනි දිනට පෙර ඉවත් කර ගන්නා ලෙසත් ඉහත දින  සිට නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. රුහුණු කතරගම මහා දේවාලයේ  බස්නායක නිලමේතුමා හා සියලුම  දේවාලවල කපු මහතුන් සමග ඉටි කොළ මල් මාලා හා පලතුරු වවලට ප්ලාස්ටික් වට්ටි භාවිත කොට සදාගෙන එනු ලබන පූජා වට්ටි දේවොල්වලට භාර නොගන්නා ලෙසද ඔවුන් සමග  සාකච්ඡා කර තීරණයක් ගන්නවා. ඒ වගේම ස්වභාවික වට්ටි හා  මල් මාලා ගොතන අය පුරුදු පුහුණු කොට ඔවුන්ට අලෙවි කිරිම් පහසුකම් සැලසීමට පියවර ගන්නවා.” යැයිද පවසා සිටියේය.




මධම්‍ය පරිසර අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ තුසිත දිසානායක, ජාතික ශිල්ප සභාවේ දකුණු පාළාත් සහකාර අධ්‍යක්ෂිකා ඩබ්ලිව්.කේ. එම් චාමලි මහත්මිය, මොනරාගල දිස්ත්‍රික් පරිසර නිලධාරී පී.එල්. ප්‍රියංකර, කතරගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරී අජිත් වික්‍රමසිංහ, කතරගම ප්‍රාදේශීය සභා ලේකම් එච්.එම් දිසානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


-ආරියපාල රත්නායක-