ශ්‍රී ලංකා ක්‍රිකට් 2021-23 කාල සීමාව සඳහා නිලධාරින් පත්කර ගැනීම සඳහා වන නිලවරණයේ නාම යෝජනා භාරගැනීම අද (24දා) පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා සිදු කිර්මට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිහිටුවා ඇති නිලවරණ කමිටුවේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කරන අතර, නාම යෝජනා විවෘත කිරීම අද පස්වරු 4.00ට සිදු කිරීමට නියමිතය.සභාපති, උපසභාපති ධුර 02ක්, ලේකම්, උපලේකම්, භාණ්ඩාගාරික, උපභාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු සඳහා මෙවර නිලවරණය පැවැත්වීමට නියමිතය.

මේ සඳහා මේ වනවිට රණතුංග පාර්ශ්වයෙන් සභාපති තනතුරට හිටපු උපසභාපති කේ. මතිවානන් මහතාද, ලේකම් ධුරයට හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතාද, උපසභාපති තනතුර සඳහා ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතාද ඉදිරිපත් වීමට නියමිතය.මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දරන ෂම්මි සිල්වා මහතා යළිත් සභාපති ධුරයට තරග කරනඅතර,ඒ මහතාගේ පාර්ශ්වයෙන් උපසභාපති. ධුරයන් සඳහා හිටපු සභාපතිවරයෙකු සහ වත්මන් උපසභාපති ජයන්ත ධර්මදාස සහ වත්මන් උපසභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් තරග කිරීමට නියමිතය.එම පාර්ශ්වයේ ලේකම් ධුරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ලේකම්වරයා වන මොහාන් ද සිල්වා මහතාද, භාණ්ඩාගාරික ධුරය සඳහා වත්මන් භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතාද තරග කිරීමට නියමිත බව අනාවරණය වේ.

 (පැතුම් ශ්‍රී විජේරත්න)