katana-incident

මීගමුව කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී  බෝර 12 ගිනිඅවි හයක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල  දෙකක් සහ විවිධ වර්ගයේ උණ්ඩ 1663ක් ඊයේ දහවල් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  මෙම ගිනිඅවි සහ උණ්ඩ සමග 61 හැවිරිදි එම කෝටිපති ව්‍යාපාරිකයාද සැකපිට අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
 



මෙම ව්‍යාපාරිකයා ගිනිඅවි ජාවාරමේ නිරත වන බවට ගුවන් හමුදා බුද්ධි අංශ දුන් තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරින් කණ්ඩායමක් දින 5 ක ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඊයේ පෙරවරුවේ ඔහුගේ සුඛෝපභෝගී නිවස පරික්ෂා කර මෙම ගිනිඅවි සහ උණ්ඩ සොයාගත් බව විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවසීය.


විශාල පොල්වත්තක් මැද ඉදිකර තිබූ නිවසේ තිබී සොයාගත් උණ්ඩ අතර බෝර 12වර්ගයේ පතරම් 994 ක්,  මිලිමීර් 9 වර්ගයේ පිස්තෝල පතුරම් 267 ක්, 7.6 පතුරම් 385 ක්, 3.8 වර්ගයේ පතුරම් 7ක් හා 32 වර්ගයේ පතුරම් 10 ක් තිබු බව විශේෂ කාර්ය බළකාය  පවසයි.

මෙම ගිනිඅවිවලට අමතරව විශේෂ කාර්ය බළකායට අයත් කැලෑ නිල ඇඳුමකට සමාන ඇඳුමක් මෙහි තිබී සොයාගත් බවත් විශේෂ කාර්ය බළකාය කියයි.  ගිනිඅවි ළඟ තබාගැනීමට ඔහුට බලපත්‍ර ඇති බවට සැකකරු බලපත්‍ර කිහිපයක්  නිලධාරින් වෙත ඉදිරිපත් කර ඇති බවත් එම බලපත්‍රවල  සත්‍ය අසත්‍ය බව හෙළිකර ගැනීමට පරික්ෂණ පවත්වන බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.


මෙතරම් විශාල පතුරම් තොගයක් සැකකරුට ළඟ තබා  ගැනීමට අවසර නොමැති බවත් මොහු අපරාධ කල්ලිවලට ගිනිඅවි අලෙවි කරන්නකු ද යන්න හෙළිකර ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.  සැකකරු සමග ආයුධ වැඩිදුර පරික්ෂණ සඳහා කටාන  පොලිසියට බාර දී ඇත.  විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය  පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ  ගෝනහේන කඳවුරේ විශේෂ වැටලීම් ඒකක සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.


-ඉන්දිකා රාමනායක -