china-mars-robot

චීනයේ 'ටියැංවෙන් 1' ගවේෂණ යානය පෙරේදා (10) අගහරුගේ කක්ෂයට පිවිසියේය. චීනය අඟහරු ගවේෂණයට රොබෝ යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි. ‘ටියැංවෙන් 1 ගවේෂණ යානය අගහරු කක්ෂයට පිවිසියේ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අමල්” නමැති රොබෝ යානය අඟහරුගේ කක්ෂයට ඇතුළු වී දිනකට පසුවය. “අමල්" යානය අගහරු කක්ෂයට ඇතුළු වූයේ 9 වැනිදාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු වෙත යැවූ පළමු යානය අමල්ය. මෙම යානය කක්ෂීය යානයක් වන අතර මෙය අඟහරුන්ගේ කක්ෂයේ රැදී සිටිමින් දත්ත රැස් කරයි.




චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදුවන්නේ 'චීන අභ්‍යවකාශ ගවේෂණ අධිකාරිය යටතේය. 'ටියැංවෙන් 1 යානය මෙහෙයවන්නේ චීන අභ්‍යවකාශ ගවේෂණ අධිකාරියේ විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන්ය. 'ටියැංවෙන් 1' පෘථිවියෙන් පිටත් වී ගියේ, පසුගිය ජූලි 23 වැනිදා ය. පසුගිය 2020 ජූලි මාසයේ අඟහරු ග්‍රහයා පෘථිවියට ළංව පිහිටියේය. රටවල් 3 ක් අඟහරු වෙත ගවේෂණ යානා යැවීම කළේ ඒ අනුවය. එම රටවල් තුන චීනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඇමෙරිකාවය. ඇමෙරිකාව යැවූ ගවේෂණ යානය අඟහරුට ළං වීමට නියමිතව ඇත්තේ ලබන 18 වැනිදාය.


'ටියැංවෙන් 1’ ගවේෂණ යානය, යානා 3 ක එකමුතුවකි. සම්පූර්ණ යානයේ උස මීටර් 1.85 කි. බර කිලෝ ග්‍රෑම් 240 කි.  පෙරේදා (10) අඟහරුගේ කක්ෂයට පිවිසියේ 'ටියැංවෙන් 1' කක්ෂීය යානයයි. මෙය මවු යානයක්  ලෙස ක්‍රියා කරයි. දෙවැනි යානය අඟහරු මතට පතිත කර, පස් සාම්පල සහ දත්ත රැස් කරන යානයකි. මෙම පතිත කරවන යානය ඉදිරියේ දී අඟහරු මතුපිටට පතිත කරනු ඇත්තේ පැරෂුට් ආධාරයෙනි. යානය ඉදිරි දින කීපය ඇතුළත දී මව් යානයෙන් වෙන් වී අඟහරු මතපිට බලා යනු ඇත.




පතිත කරවන යානය තුළ තවත් කුඩා යානයක් ඇත. මෙය රෝවර් යානයකි. රෝවර් යනු රෝදවලින් සමන්විත කුඩා යානා ය.  මේවා එහෙ මෙහෙ යමින් ගවේෂණයේ යෙදෙයි. සූර්ය බලයෙන් පණ ගැන්වෙන 'ටියැංවෙන් 1 ' යානා තුනම අඟහරුගේ මාස 3 ක් (පෘථිවි දින 92 ක් ගවේෂණ කටයුතුවල නියැලෙනු ඇති බව චීනය පවසයි. චීනය, මෙම යානය  'ටියැංවෙන්' යනුවෙන් නම් කර ඇත්තේ පුරාණ කාව්‍යයක් මුල්කොට ගනිමිනි. මෙම කාව්‍යය රචනා කර ඇත්තේ මීට වසර 2,000 කට පෙර, චීන සාහිත්‍යවේදියකු මෙන්ම දේශපාලනඥයකු ද වූ කූ යුවාන් ය. මොහු ජීවත් වූයේ ක්‍රි.පූ. 770-223 තෙක් කාලයේ ය. වසර 2,000 කටපෙර, කූ යුවාන් රචනා කළ“ටියැංවෙන් 1"කාව්‍යයෙන් කියැවෙන්නේ ග්‍රහලෝක ගවේෂණ ගැනය. 'ටියැංවෙන් 1’ යානා ත්‍රිත්වයේ අරමුණ වී ඇත්තේ, අඟහරුගේ ඡායාරූප ගැනීම, කාලගුණය සහ චුම්බක  ක්ෂේත්‍ර අධ්‍යයනය කිරීමය.