kandy-hospital-incident

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ඒකකයේ පස්වැනි මහලෙන් බිමට පැන දිවි නසා ගැනීමට තැත්කළ බව කියන උලපනේ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි හෘද  රෝගියෙකු බේරාගත් බව පොලිසිය කියයි. 

රෝහලේ කාර්ය මණ්ඩලයත් පොලිස් හදිසි ඇමතීම් ඒකකය සහ මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකයේ නිලධාරින් මැදිහත්වී මහත් පරිශ්‍රමයක් දරා ඔහු බේරාගත් බවද මහනුවර පොලිසිය පවසයි.  බදාදා (24) අලුයම 5.15 ට පමණ මෙම හෘද  රෝගියා රෝහල් ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ ජනේලයකට නැග එයින් පැනීමට  සූදානම්වද්දී කිසිවෙකු විසින් පොලිස් හදිසි  ඇමතීම් අංශයේ 119 අංකයට ඇමතුමක් ලබාදී ඇත.


පසුව පොලිස් හදිසි ඇමතීම් අංශයේ පොලිස් නිලධාරින් මහනුවර නාගරික ගිනි නිවීම් අංශයට දැනුම් දී එහි ඉණිමඟ සහිත බකට් යන්ත්‍රය ගෙන්වා රෝහල් ගොඩනැගිල්ලේ පස්වන මහලේ ජනේලයක් අසල සිරවී සිටි හෘද රෝගියා එම යන්ත්‍රයට නංවා පහළට ගෙන තිබේ.

එම රෝගියා පසුව යළිත් රෝහලට ඇතුළත් කිරීමට රෝහල් බලධාරිහු පියවර ගත්හ.  මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හළංගොඩ මහතාගේ අධීක්ෂණය මත හදිසි ඇමතීම් අංශය සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකර ඇත.

-ජේ.එල්. ජයසිංහ -