kalu-river-gem

රුපියල් මිලියන 135කට බලපත‍්‍ර ලබාදුන් කළු ගඟේ හැරණියාවක මැණික් නිධියේ මැණික් පතල් කැණීම වහාම නවත්වා එම මැණික් පතල් සිදු කිරීමේ ක‍්‍රමවේදයේ විනිවිදභාවය ගැන පරීක්ෂණයක් සිදු කිරීමට රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළ අතර විෂය භාර රාජ්‍ය ඇමැතිවරයාට ඒ ගැන දැනුම් දීමට ද තීරණය කර ඇත. 



ප‍්‍රධාන ගංගාවක මැණික් කැණීම සදහා බලපත‍්‍ර ලබා දීමෙන් ලංකාවේ වැඩිම ආදායම ලබාගෙන ඇත්තේ මෙම මැණික් පතල් කැණීම් බලපත‍්‍රයෙනි. පෙරේදා (16 වැනිදා) පැවති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කළු ගෙඟ් හැරණියාවක මැණික් කැණීමට බලපත‍්‍ර ලබා දී ඇති ආකාරය පිළිබඳව දිස්ත‍්‍රික්කයේ දේශපාලන අධිකාරියේ දැඩි විරෝධයක් සහ විවේචනයක් එල්ල විය. රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල එල්ලාවල මහතා එහිදී පැවසුවේ විනිවිදභාවයකින් තොරව මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ සභාපති සහ නිලධාරීන්ට අවශ්‍ය ලෙස හැරණියාවක රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් නිධිය ගොඩගැනීමට ක‍්‍රමවේද සකස් කර ඇති බවයි.

මේ නිසා ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු රජය අපහසුතාවට පත්ව ඇතැයිද, මැණික් කර්මාන්තය භාර රාජ්‍ය ඇමැතිවරයාද මෙයට සම්බන්ධ බවට ප‍්‍රදේශයේ ජනතාව අතර වැරදි මතයක් නිර්මාණය වී ඇතැයි ද දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා පැවසීය. ගමේ ජනතාවගේ බහුතරයක් මේ ආකාරයෙන් මැණික් පතල් කැණීමට විරෝධය පළ කර ඇතැයිද එල්ලාවල මහතා පැවසීය. ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා මෙහිදී පැවසුවේ සාධාරණ ලෙස ප‍්‍රදේශයේ ජනතාව දායක කරගෙන මෙම මැණික් කැණීම සිදු කළ යුතු බවයි.



පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා ස`දහන් කළේ කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයින් සහ වෙනත් ව්‍යාපාරිකයින් එකතුව මේ ආකාරයට මැණික් කැණීමෙන් ප‍්‍රාදේශීය ආර්ථික සම්පත් ප‍්‍රදේශයට අහිමිව යන නිසා සාධාරණ ලෙස එම සම්පත් බෙදී යායුතු බවයි. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී වලේබොඩ මහතා ද මෙහිදී සඳහන් කළේ කිරිඇල්ල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවද මෙම මැණික් පතල් කැණීම තාවකාලිකව නවතා දැමිමට තීරණය කර ඇති බවය. මෙම රැස්වීමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියා මෙසේ පැවසීය.

‘‘මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය බලපත‍්‍ර ලබා දීමෙන් ලද වැඩිම ආදායම වන රුපියල් මිලියන 135 ක් මෙමගින් ලබාගෙන තිබෙනවා. කළු ගෙඟ් හැරණියාවක මැණික් කැණීමෙන් ලැබෙන ආදායමෙන් සියයට 25 ක් ප‍්‍රදේශයේ සමෘද්ධි සමිති හයක අඩු ආදායම්ලාභීන් පතල්කරුවන් හවුල් කරගෙන ලබා දෙනවා. තවත් සියයට 25ක් බලපත‍්‍ර ලබාගත් සමාගමට ලැබෙනවා. ඉතිරි සියයට 50 ක ආදායම් රජයට ලැබෙන ලෙස මෙහි ක‍්‍රමවේදය සකස් කර තිබෙනවා. මෙම බලපත‍්‍ර ලබාදි ඇත්තේ 2017 වසරේදී. මැණික් කැණීම ආරම්භ කර ඇත්තේ දැනට සති කිපයකට පෙරය.