baddegama-principal-covid

කෝවිඩ් ආසාදිත බව තහවුරු වූ ගාල්ල බද්දේගම නගරයේ බාලක පාසලක විදුහල්පතිවරයා සෞඛ්‍ය අංශ මඟහැර නිවසින් පලා ගොස් ඇතැයි බන්දේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. පලාගිය කෝවිඩ් ආසාදිත විදුහල්පතිවරයා සොයා පොලීසියට හා හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇත. මෙම විදුහල්පතිවරයා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් පසුගියදා (15දා) පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර තිබිණි. එම පක්ෂණයේ වාර්තව ලැබෙනතුරු නිවසට වී නිරෝධායනය වන ලෙස උපදෙස් දී තිබුණද පෙරේදා (16දා) ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටද ගොස් ඇති බවට මේ වනවිට සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

විදුහල්පතිවරයාගේ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තව ලැබුණු පසු දුරකථනයට ඇමතුමක් ගෙන ඔහු ආසාදිත බවට දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර ඔහු සොයා ගෝනපීනුවල පිහිටි නිවසට යනවිට නිවස වසා දමා ප්‍රදේශයෙන් බැහැර ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.මෙම විදුහල්පතිවරයා මේ වනවිට ඔහුගේ සහ බිරිඳගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති බවත් ඔහු යා හැකියැයි සිතු ස්ථානයන් පරීක්ෂා කළ ද එම ස්ථානයන්හි පවා සොයාගැනීමට නොහැකි වූ බවත් සෞඛ්‍ය අංශ පවසයි.විදුහල්පතිවරයා කෝවිඩ් ආසාදිතයකු බැවින් වහාම සොයා දෙන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාර් විසින් මේ වනවිට පොලීසියට හා හමුදාවට දැනුම් දී තිබේ.විදුහල්පතිවරයාගේ ආශ්‍රිතයන් වූ විද්‍යාලයේ ගුරුවරු 50කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය දිනවල විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සැකසීම සඳහා හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බවට තොරතුරු වාර්තා වී ඇති බවත්,ඔවුන්ගෙන් අයෙකු ආසාදිත වීම සහ විදුහලේ සිසුවකුගේ පියෙකු ආසාදිත වීම හේතුවෙන් විදුහල්පතිවරයා පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකර තිබිණි.

 (සිරංගිකා ලොකුකරවිට)