දකුණු ඉන්දියාවේ වෙන්නායි නුවර පෙම්වතුන් යුවළක් සිය විවාහ උත්සවය අඩි 60ක් ගැඹුරු මුහුදේ කිමිදෙමින් පැවැත්වීමේ පුවතක් පසුගියදා වාර්තා විය. තාක්ෂණික වෘත්තීන්හි නියැළී සිටින දෙපළට සිය විවාහය 'වෙනත් විවාහ අවස්ථාවන්ට වඩා වෙනස් ආකාරයෙන් සිදුකිරීම සම්බන්ධයෙන් ඇති වූ අවශ්‍යතාව අනුව මෙලෙස එය සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.

විශේෂයෙන්ම සාගර දූෂණය සම්බන්ධයෙන් ජනතාව තුළ දැනුවත්භාවයක් ඇති කිරීම මෙම උත්සාහයේ අරමුණ බව මනාලයා වන චින්නදුරෙයි සඳහන් කරයි. ඔහු වසර 12ක කාලයක් ස්කුබා කිමිදුම් ක්‍රීඩාවේ යෙදෙමින් ඒ සම්බන්ධ බලපත්‍රයද සහිත අයෙකි.

 "මට කිමිදීමට පුළුවන්.  හැබැයි මගේ බිරිඳට පිහිනීමට පුළුවන් වුණත් ඇය මීට පෙර කිමිදිලා තිබුණේ නෑ. මගේ මවුපියන් වුණත් 'මේ අදහසට අනුමැතිය ලබා දුන්නා. හැබැයි ස්වේතාගේ මවුපියන්ගෙන් මීට අවසරය 'ගන්න ටික කාලයක් ගියා.” චින්නදුරෙයි ඉන්දියානු මාධ්‍ය වෙත පවසා ඇත.

ඒ අනුව පිහිනුම් තටායක් තුළ සිදුකළ පෙරහුරු කිහිපයකින්  අනතුරුව යුවළ මෙලෙස අඩි 60ක් ගැඹුරු මුහුදේදී සිය විවාහය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  විවාහයේ පළමු වැනි අදියරේ වාරිත්‍ර වාරිත්‍ර පසුගිය පෙබරවාරි 01දා ' දෙපාර්ශ්වයේම ඥාතීන් ඉදිරිපිටදී පැවැත්වීමෙන් අනතුරුව දෙදෙනාම 'බෝට්ටුවක නැගී බෙංගාල බොක්කේ කිලෝ මීටර් 4.5ක්  දුරින් පිහිටි සාගරය වෙත  ගොස් තිබේ. එහිදී ඔවුන් සමග කිමිදුම් උපදේශකයන් හය දෙනෙකුද ගමන සඳහා පිටත්ව ගොස් ඇත. මෙම විවාහයේ සැරසිලි මෙන්ම එය කැමරාගත කිරීමත් සිදුකර ඇත්තේ මෙම උපදේශකයන් විසිනි.

මනාලයා දකුණු ඉන්දියාවේ සම්ප්‍රදායික දෝතියකින් සහ කසයකින් සැරසී සිට ඇති අතර ඔහුගේ මනාලිය වන   ස්වේතා සාම්ප්‍රදායික සාරියකින් සැරසී සිට ඇත.  මෙහිදී එම සැරසිලිද සම්පූර්ණයෙන්ම ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන ඉදිරිපත් කර තිබීමත් විශේෂත්වයකි.   දෙදෙනාම සිය කරෙහි බැඳි ඔක්සිජන් ටැංකිද සමග  මල් මාලා හුවමාරු කර ගැනීම මෙන්ම මනාලයා විසින් මනාලියගේ බෙල්ලෙහි කරමාලය පැලදවීමත් සිදුකර තිබේ. විනාඩි 40ක පමණ  කිමිදීමකින් පසුව විවාහපත්  නව යුවළ ගොඩබිමට පැමිණ ඇත. අනතුරුව පවුලේ ඥාතීන් සමග ඔවුන් විවාහයේ ඉතිරී චාරිත්‍ර වෙන සහභාගි වී තිබේ.

කෙසේ වෙතත් මුහුදේ කිමිදුනු එම කාලසීමාවේදී එහි ඇති මිනිසා විසින් මුහුදට එක්කර ඇති අපද්‍රව්‍යය දැකීමෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වූ බව චින්නදුරෙයි මාධ්‍ය වෙත පවසා ඇත. මුඛ ආවරණ, ප්ලාස්ටික් බෑග්, ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය රැසක් මුහුදු පතුලේ ඇතැයි ඔහු එහිදී සඳහන් කර තිබේ.