hithumathe-jeewithe-truth-revealed

‘හිතුමතේ ජීවිතේ‘ නමින් ජනපති සමාව ලැබ 2018 පෙබරවාරි 4 වනදා බන්ධනාගාරයෙන් නිදහස්වී එලියට ආ බටගහගේ සුමතිපාල නොහොත් රංජිත් නමැත්තා තම නැගණිය අතවර කර මරාදැමූවන් වරින්වර ඝාතනය කරමින් වරින්වර හිරගෙදරට යමින් පනිමින් අසාමාන්‍ය ‘සීරියල් කිලර්‘ කෙනෙකු යයි මාධ්‍ය මගින් හදුන්වා දුන්නේ ඔහුගේ පාපොච්චාරණයන් පදනම් කරගනිමිනි. 
නමුත් මේ වනවිට බටගහගේ සුමතිපාලගේ නැගණිය මියගිය කතාව බොරුවක් බව ආරංචිවී ඇති අතරම ඇය මාධ්‍ය වෙත ඉදිරිපත්වී කියා සිටින්නේ තමන්ගේ සොයුරා ගොතන ලද කතා රැසක් කියා ජනතාව රවටන ලද බවයි. තමාගේ වයස 07න් පසු පදිංචිය වෙනස් කිරීම නිසා මේ කියන සොයුරා වැඩිපුර මුණගැසුනේද නැති බව කියන නැගණිය තමා දූෂණයවූයේද නැති බව දන්වා සිටී.
ඔහු මිනීමැරුම් සිදුකර සිරගතවූ අවස්ථාවල තමා බලන්නට ගිය බවද ඇය කියයි.
කෙසේ වෙතත් ඔහු වසර 43 ක් හිරබත් කෑවා යන්නත් සිරගෙදරින් එතරම් අවස්ථා ගණනකදී පැනගියේද යන්නත් විශ්වාස නැති බව දන්වා සිටී.


 සිරගතව සිට නිදහස ලැබූ පසු දෙරණ නාලිකාවේ චතුරගේ වැඩසටහනකට එක්වෙමින් හිතුමතේ ජීවිතේ
තම නැගණිය මැරූවන් සමූල ඝාතනය කළ බවට කියන අපූරු කතාව යූටියුබ් ඔස්සේ මිලියන ගණනාවක් නැරඹූ අතර මෙතරම් මිනීමැරුම් හා සිරෙන් පැනයාම් පාපොච්චාරණය කළ ඔහු කියන කතා සත්‍යයදැයි මාධ්‍ය මගින් විමසා බලා තිබුනේ නැත.
 මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදුන් ” හිතුමතේ ජිවිතේ” නම් පුද්ගලයා සිදුකරනු ලබන ප්‍රකාශයන් සියල්ල අසත්‍ය බවට ඇයගේ එකම නැගණිය නෙත් එෆ්එම් බැලුම්ගල වැඩසටහනට පසුගිය සතියේ දන්වා සිටියේ මේ අතරවාරයේය.
එම වැඩසටහන මගින් සිදුකළ ගවේෂණයකින් “හිතුමතේ ජිවිතේ” ගේ නැගණිය දංකොටුව ප්‍රදේශයේ සිටියදී සොයා ගනු ලැබූ අතර එහිදී ඇය කියා සිටියේ තමාව දුෂණය කොට මරා දැමු බවට තමන්ගේ වැඩිමහල් සහෝදරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට ලක්වූ බවයි. ඒ හේතුවෙන් තමාගේ දෙවැනි වැඩිමහල් සහෝදරයා සමග එවැනි තොරතුරු පළකළ මාධ්‍ය ආයතන සොයා ගොස් සත්‍ය ප්‍රකාශ කළත් එහිදී ඔවුන් කිසිවෙකුත් එය නිවැරදි කිරීමට කටයුතු නොකළ බවය.
හිතුමතේ ජීවිතේ වීරත්වයට පත් කරමින් නවකතාවක් මෙන්ම චිත්‍රපටයක්ද දැන් තනා ඇත. චිත්‍රපටය නිර්මාණය කළ අය මුණගැසීමටද මෙම නැගණිය ගොස් තිබුණ අතර එය වළකන්නට ඇය දැරූ උත්සාහයට කිසිවෙකු කන්දී නැත.
බැලුම්ගල වැඩසටහන මගින් හිතුමතේ හමුවී මේ ගැන අදහස් විමසන්නට ගියවිට හිතුමතේ හෙවත් රංජිත් දොරවසාගෙන මාධ්‍යය මගහැරිය බවද රූපරාමු මගින් හෙළිවේ.


බැලුම්ගල වැඩසටහනට අදහස් දක්වන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ හිතුමතේ ජීවිතේ කතාව සත්‍යාපනය කරමින් දෙපාර්තමේන්තුව නිකුත් කළ බව දක්වා ඇති වැරදි ලිපියක් සංසරණය වන බවත් එවැනි ලිපියක් කිසිම හේතුවක් නිසා හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර නැති බවකි.

තම නැගණිය මැරූවන්ගෙන් පලිය ගන්නවා වැනි මේ ආකාරයේ කම්පිත සිදුවීමක් වීරත්වයෙන් යුතුව ලංකාවේ සමාජය පිළිගන්නේ ලංකාවේ ඔඩුදුවා ඇති නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවන පරිසරය තුළ බවට සමාජ විද්‍යාඥ මහාචාර්ය මයුර සමරකෝන් අදහස් දක්වා ඇත.
හිතුමතේ ජීවිතේ බොරුවක් මාකට් කර ඇති අතර මාධ්‍ය හා කලා නිර්මාණයන් එය තවත් ඔපදමා මාකට් කර ඇති බව ඒ අනුව ගම්‍යමාන වේ

හිතුමතේ ජීවිතය බැලුම්ගල ගවේෂණය පහතින් :