father-covid-15-son

මියගිය තම පුතුගේ කොවිඩ්-19 ආසාදිත බවට නිකුත් කළ වාර්තාව නොපිළිගනිමින් තවත් පී.සී.ආර්.
පරීක්ෂණයක් ලබාදෙන ලෙසට ‘රිට්’ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ත්‍රිකුණාමලයේ පියකු ගොනුකළ
පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (18දා) විමසුමට හෝ ලක් නොකොටම ඉවත දැමීය.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ ශ්වසන ආබාධ ආදී කිසිදු ‘කොවිඩ්’ රෝගී ලක්ෂණයක් පෙන්නුම් නොකළ 15
හැවිරිදි තම පුත්‍රයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත්, එහෙත් මියගිය
පසුව ඔහු කොවිඩ්-19 පොසිටිව් බවට ප්‍රකාශ කිරීම නිසා තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් වැරදි නිගමනයක් පළව ඇතැයි සැක පහළවූ බවත් මෙම පියා සඳහන් කර තිබුණි.



එබැවින් දරුවාට තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් පවත්වන ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) අධිකරණ
වෛද්‍යවරයාට රිට් ආඥාවක් මඟින් නියම කරන ලෙස මෙම පියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘෘ මහතා
වගඋත්තරකාර රෝහල් අධිකාරිය වෙනුවෙන් අධිකරණයට දන්වා සිටියේ පවත්වනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණය
පිළිබඳව සැකයක් ඇති කර ගැනීමට පිළිගත හැකි කිසිදු සාක්ෂියක් හෝ කරුණක් හෝ පෙත්සම්කාර පාර්ශ්වය
ඉදිරිපත් කොට නොමැති බවත්, එබැවින් මෙය හිතළුවක් මත සිදුකරනු ලබන ඉල්ලීමක් බැවින් මෙම පෙත්සම විමසුමට හෝ ලක්නොකොට ඉවත දමන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින බවත්ය.
ඒ අනුව දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට  ගැනීමෙන් අනතුරුව ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය එම පෙත්සම
ඊයේ (18දා) විභාගයට හෝ නොතබාම ඉවත දමනු ලැබීය.