ali-sabry-shukra-munawwar

සිරස ටී. වී. ලක්‍ෂපති වැඩසටහනේදී රුපියල් මිලියන දෙක ජයග්‍රහණය කළ ෂුක්රා මුනව්වර් වෙනුවෙන් පසුගියදා කොළඹදී පැවැති උපහාර උත්සවයකට සහභාගි වූ අධිකරණ අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්‍රි ජයග්‍රාහිකාව ඉහළින් අගය කළේ මෙසේය.


“ඉස්ලාමීය අනන්‍යතාව තබාගෙන මේ රටේ සියලුදෙනාගේම හදවත දිනාගෙන ජීවත්විය හැක්කේ කෙසේ
දැයි සන්නාම තානාපතිනියක් ලෙස කටයුතු කිරීමේ හැකියාව ඇති බව ෂුක්රා දියණිය විසින් පෙන්වාදී
තිබෙනවා. ඒ නිසා අපි ඔබ අගය කිරීමට තීරණය කළා. අපි විවිධ ආගම් අදහනවා, විවිධ භාෂා කතා
කරනවා අපි විවිධ ජාතීන්ට අයිති වෙනවා. නමුත් අපි සියලුදෙනා ඒකරාශී කරන පොදු ගුණාංගය
මනුෂ්‍යත්වය හා ශ්‍රී ලාංකිකත්වයයි.



විවිධත්වයෙන් ඒකීයත්වයට යා හැකියි. එවිට සංස්කෘතික වශයෙන් ශ්‍රී ලාංකික විය යුතුයි. ෂුක්රා මුස්ලිම්
බව හැමෝටම පෙනුණ නමුත් වෙනම ඇය පෙනෙන්නේ නෑ. අපිට අපි පිළිබඳ ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි.
අනන්‍ය අවබෝධයක් තිබිය යුතුයි, එකිනෙකා පිළිබඳව විශ්වාසයක් තිබිය යුතුයි. එසේ වුවහොත් අපි
බලාපොරොත්තුවන සාමය, එකමුතුකම හා සහෝදරත්වය ගොඩනැඟිය හැකියි.

හැම කොටසකම අන්තවාදීන් කොටසක් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය විදියට අපිට ජීවත් වන්නට බැහැ. එක
මවකගේ දරු කැලක් ලෙස අපි ජීවත් විය යුතුයි. ඒ පිළිබඳ ලොකු වගකීමක් අපිට තිබෙනවා.

මෙම දරුවා ප්‍රධාන සමාජයට වගේම මුස්ලිම් සමාජයටත් ලොකු පණිවුඩයක් ලබා දෙනවා. අපි
අධ්‍යාපනය වැලඳගත යුතුයි. ෂුක්රා දරුවා ලබාගත් ජයග්‍රහණය අති විශිෂ්ටයි, “ඔබ දක්‍ෂ දරුවෙක්.”
“අමාරු හරිය තිබෙන්නේ මෙතැන් සිටයි. දැන් කැමරාව ඔබ දෙසට යොමුවී තිබෙනවා.”

මෙම දියණිය වගේම මමත් හෝඩියේ සිටම සිංහලෙන් ඉගෙන ගැනීම නිසා බොහෝ දේ ළඟා කර ගැනීමට හා
ජයග්‍රහණය කර ගැනීමට හැකිවුණා. සිංහලෙන් ඉගෙන ගත් නිසාම අපිට යම් යම් ආභාස ලැබුණා. මම
බෞද්ධයෙක් නොවෙයි මුස්ලිම් ජාතිකයෙක්. නමුත් බුද්ධාගමේ ආභාසය මට නොදැනීම ලැබී තිබෙනවා.


“මිනිසකු බමුණකු වන්නේද වසලයකු වන්නේද උපතින් නොවෙයි. කල්ක්‍රියාවෙනුයි. “එය අපි අත්දැක
තිබෙනවා. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. ආදරයෙන් කරුණාවෙන් මිස මේ රට ගොඩදැමිය නොහැකියි.
“සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා,  නිවන් දකිත්වා” ඒවා අපි
උකහාගත්තේ බුද්ධාගමෙනුයි.

බලකිරීමක් නැති බව අපේ කුරානයේත් කියැවෙනවා. “එක පුද්ගලයකුගේ ජීවිතය නිරපරාදේ නැති කළහොත්
මුළු ලෝකයම මරා දැමුවාට සමානයි, එහි පාපය විඳින්නට වෙනවා. එක් පුද්ගලයකුගේ ජීවිතය බේරා
ගතහොත් මුළු ලෝකයම බේරාගත්තා හා සමාන යැයි කුරානයේත් කියැවෙනවා. සියල්ලෙන්ම කියන්නේ එකම
ධර්මයයි. ප්‍රශ්නය එය වටහා ගැනීමයි.

ලේසිම දේ මිනිස්සු බෙදන එකයි, අමාරුම දේ මිනිස්සු එකතු කිරීමයි. එම අමාරු ගමන අප යා යුතුයි.
එසේ ගියහොත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනඟා මේ රට යම් දුරකට රැගෙන යා හැකි වෙනවා.

බොහෝදෙනා හොඳ මිනිස්සු. එක්කෙනකුට දෙන්නකුට අපි අතර තිබෙන සහෝදරකම, සහෝදරත්වය,
මිත්‍රත්වය, බැඳීම කඩන්නට අපිට ඉඩ දෙන්නට බැහැ”