dinura wijesundara

සිරස ටීවී නාලිකාවේ ඇනිමේෂන් නිර්මාණ ශිල්පියකු වූ 34 හැවිරිදි දිනුර විජේසුන්දර පසුගියදා පුංචි ලෝකාන්තයේදී අවාසනාවන්ත ලෙස සැඟව ගියේය.
ඔහු මිතුරන් 6 දෙනෙකු සමග ගිය ගමනේදී අධික මීදුම මැද පාර හොයාගන්නට බැරිව කන්දෙන් පහළට ඇදවැටී මියගියේය. 


පිරිස රාත්‍රියේ කඳවුරු බැඳගෙන කූඩාරමට වී සිටින අවස්ථාවේ අධික ශීතලක් දැනුණ බැවින් වාහනයට ගොස් උණුසුම්වීමට උත්සාහ කළ බවත් අනතුරුව වාහනය සොයා මීදුම මැද ඇවිදගෙන යන ගමනේදී අනෙක් අයට වාහනය වෙත යාමට හැකි වුවද දිනුර අතුරුදන්වූ බවත් කියැවිණි.
මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අඩි 1200 ක් පමණ ගැඹුරු ප‍්‍රපාතයකින් යුතු තැනක ගලක් මත තිබී දිනුරගේ නිසල දේහය සොයාගත්තේ අතුරුදන්වීමෙන්  දින 3 කට පසුය. අනපේක්ෂිත කාලගුණ තත්වයක් නිසා දිනුරගේ ජීවිතය අහිමිවීයාම සිහිනයක් බඳු සංසිද්ධියකි.
දිනුර සිරසේ ඇනිමේෂන් නිර්මාණකරුවෙකි. පදිංචිව සිටියේ කළුතර මග්ගොනයි. ඔහුගේ බිරිය ශ්‍රීමාලී වෘත්තියෙන් නීතීඥවරියකි. ඔවුන් විවාහවූයේ මීට වසර 4 කට පෙර 2017 දීය.
දිනුරගේ දෙමාපියන් හා එකම අයියා පදිංචිව සිටියේ මහගෙවල් පිහිටි බෙන්තොට ගෝනගලපුරයි.කළුතර මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ දිනුර 2009
සිටම සිරසේ වැඩ කළේය. ඔහු සංගීතයටද දක්ෂයෙකු විය. බොහෝ දෙනා අතරදිනුර ප්‍රකට වී සිටියේ වාදක මණ්ඩලයක ගායකයකු හා වාදකයකු ලෙසටය. ඔහුගේ පාසලේ සගයින් අතරින් කාලයක් තිස්සේ සමීපව ඇසුරු කරමින් සිටි කණ්ඩායමක් විය. ඒ අය වැඩිදෙනෙකු වෛද්‍යවරුන් විය. ඔවුන් කණ්ඩායම විනෝදයට පිටතට යන අවස්ථාවල දිනුරද එක්වූ අතරම ඔහු නැතිවම බැරි සගයෙකු විය. ඒ ඔහුගේ ගීත එම විනෝද ගමන් රසවත් කළ නිසාය.
දිනුරගේ බිරිය ශ්‍රීමාලී අවාසනාවන්ත සිද්ධිය විස්තර කළේ මෙසේය.


‘දිනුර සෙනසුරාදා මිතුරන් හය දෙනකු සමග මග්ගොන අපේ ගෙදරින් ජීප් එකකින් බදුලූ යෑමට පිටත් වුණා. වෛද්‍යවරුන් වන දිනුරගේ තවත් මිතුරන් හය දෙනකු ඒකට එකතු වෙලා තිබුණා.
මම මගේ මිතුරියක් හා දිනුර සමග ගිය මිතුරකුගේ බිරිඳත් සමග ගෙදර හිටියා. ඉරිදා උදේ මටත් බදුලූ යෑමට නිකමට සිතුණා. ඒ යන අතරතුරදී දැන ගන්න ලැබුණා දිනුර අනතුරකට ලක්වෙලා කියලා. අපි ළඟදී කළුතර පදිංචියට යෑමට පන්සල පාරෙන් ගෙයකුත් මිලට ගත්තා. එහේ පදිංචියට සූදානම් වෙන අතරතුරයි මේක වුනේ. මාස 4 කට පෙර වගේ මගේ අම්මත් මිය ගියා. දැන් මම තනි වෙලා.‘

දිනුරගේ මව වන යමුනා විජේසුන්දර මහත්මිය මෙසේ කීවාය.

අපිට හිටියෙ පුතාලා දෙන්න විතරයි. ලොකු පුතා විවාහ වෙලා අපි එක්ක ගෙදර ඉන්නවා. දිනුර නිතර ඇවිත් අපිව බලලා යනවා. පුතා එදා ගමන යන්න පෙර මට දුරකතන පණිවිඩයක් දීලා කිව්වා. අම්මෙ අපි බදුලූ යනවා කියලා.දෙයියනේ..දැන් ඉතින් පොඩි පුතා කියලා අපිව බලන්න කවුද එන්නේ ..

 

dinura wijesundara

dinura wijesundara

dinura wijesundara

dinura wijesundara