දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල සියයට 90කින්
පමණ ඊයේ (17දා) උදෑසන සිට පහළ වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

එළවළු මිල පහත වැටීම සඳහා හේතු පාදකවී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් 17
වැනි දින අලුයම විශාල වශයෙන් අඩුවීමයි. යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල
ආර්ථික මධ්‍යස්ථානයට මෙදින ලැබීම බවද ඔවුහු පවසති.



පසුගිය සතියේ සෑම එළවළුවක්ම කිලෝ එකක තොග මිල රුපියල් 200 ඉක්මවා තිබිණි.

පසුගිය සතියේ බෝංචි කිලෝවක  තොග මිල රුපියල් 230ත් 280ත් අතර ඉහළ අගයක් ගෙන තිබුණත් මෙදින
බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි. බෝංචි මිල පහත වැටීම
නිසා අනෙකුත් සෑම එළවළු කිලෝවකම තොග ගැනුම් මිල පහත වැටෙන බව ආර්ථික මධ්‍යස්ථාන
ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ඉකුත් සතියේ රුපියල් පනස් පහත්, හැටත් අතර ඉහළ අගයකට අලෙවි වූ පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30
දක්වා පහත වැටී තිබීමද කැපී පෙනෙන සිද්ධියකි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින යාපනය ප්‍රදේශයෙන් වම්බටු, මෑකරල්, රතුලූනු, මඤ්‍ෙඤාක්කා,
නයි මිරිස් ආදී එළවළු වර්ග රැසක් ලැබී තිබුණු බවත්  ව්‍යාපාරිකයන් කියා සිටියේ ඉදිරි දින කිහිපයේදීත්
යාපනය අර්ධද්වීපයේ එළවළු දඹුල්ලට ලැබුණහොත් තොග මිල සාමාන්‍ය අතට පත්වනු ඇති බවය.



ආර්ථික මධ්‍යස්ථානයේ පුරා විශාල හිඟයක්ව පැවැති අමු මිරිස් තොගද මෙදින ආර්ථික මධ්‍යස්ථානයට
සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමත් සමඟ රුපියල් 750ත් දහසක් අතර අලෙවි අමු මිරිස් කිලෝව මෙදින
රුපියල් තුන්සිය පනහ දක්වා අඩු මුදලකට අලෙවි වීම තවත් කරුණකි.

දඹුල්ල - කේ.කේ. ආරියදාස