rathgama-double-murder

ඉකුත් 05 දින රාත්‍රි අබිරහස් ලෙස මරා දමා තිබූ බූස්ස මලිදුව පහලවත්ත පදිංචි මිහිඳුකුලසූරිය නුවන්
චින්තක නමැති 34 හැවිරිදි දෙදරු පියා හා රත්නෝදාගම නිවෙසේ තනිවම පදිංචිව සිටි විශ්‍රාමික
ගුරුවරියක් වූ පැස්කුවෙල්හන්දි කුසුමාවතී ද සිල්වා (73) යන දෙදෙනාගේ අබිරහස් ඝාතන සම්බන්ධයෙන්
සැකකරුවකු පෙරේදා (16දා) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය පිළිබඳ
තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.



විශ්‍රාමික පාසල් ගුරුවරිය ඝාතනය කළ ස්ථානයේ ලේ මත තිබූ සැකකරුවකුගේ අඩි සලකුණක පාදයක
ඇඟිල්ලක් සටහන් නොවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පාදයක ඇඟිල්ලක් අහිමි බකල් සරත් නමැති පොල්
කඩන්නා පිළිබඳ ඇතිවූ සැකයක් මත හා ගුරුවරිය ළඟ මුදල් ඇති බව හා ඇය මරා එම මුදල් පැහැරගත
හැකි බවට කුරුඳු වාඩියේදී පවසා තිබීම හේතුවෙනුත් ඔත්තුකරුවන්ගෙන් ලද තොරතුරු මතත් මෙම පුද්ගලයා
එදින සිටම අතුරුදන් වීම පිළිබඳව ඇතිවූ සැකයක් මතත් මොහු පසුපස පොලිසිය පන්නා ඇත.

ඔහුගේ නිවසට ගොස් විමසූ විට බිරිය පවසා ඇත්තේ ඇය සමඟ රණ්ඩු වී නිවසින් පිටත්ව ගිය බවත් තොරතුරක්
නොදන්නා බවත්ය.

පොලිසියට කට්ටි පනිමින් සිටි මොහු රත්ගම දෝලිකන්ද සිට උඩහමුල්ල දෙසට ගමන් කරමින් සිටින බවට ලද
තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු
අනාවරණය වී තිබේ.

ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගත් පොල් කඩන්නාගේ හිතවතකු වන කුරුඳු තළන්නකුද සිද්ධියට
සම්බන්ධ බවට අනාවරණය කරගෙන ඇත. කුරුඳු තළන්නා මියගිය නුවන්ගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක්
පවතින බැවින් මීට පෙර කුරුඳු තළන්නාට බැන තර්ජනය කර ඇත. ගුරුවරිය මරා එන අතරතුරදී බීමත්ව
පැමිණි නුවන් ද හමුවී ඇත. එම විරසකය හේතුවෙන් අසල තිබූ පාළු නිවසකට රැගෙන ගොස් මෙසේ පිහියෙන්
ඇන ගෙල සිර කර ඔහුද මරා දමා ඇත.

ඒ වනවිට ඒ අසලින් ගිය පුද්ගලයකු අසල තිබූ වැටට මුවාවී සිද්ධිය බලා සිට ඇත.

මේ වනවිට මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරගෙන යමින් සිටින අතර
කුරුඳු තළන පුද්ගලයා සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.



මේ දක්වා පරීක්‍ෂණ කටයුතු අවසන් නොමැති අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම සැකකරු ඊයේ
(17දා) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පැය
24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය කළ ඉල්ලීම ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා
සංජීවනී මහත්මිය අවසර ලබා දුන්නාය. කන්දගේ සරත් නොහොත් බකල් සරත් නමැත්තාව මෙසේ රඳවා
තබා ගැනීමට අවසර දී ඇත.

රත්ගම පොලිසිය පරීක්‍ෂණ සිදු කරති.

අම්බලන්ගොඩ _ ධර්මදාස සිරිවර්ධන