colombo-lrt-japan

නාගරීක සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය අවසන් කිරීමට (ව්‍යාපෘති ගිවිසුම)කටයුතු කිරීම හේතුවෙන් ජපානයේ OCG-JV සමාගමට ඇමරීකානු ඩොලර් 31,364,767ක(රු.කෝටි 627ක් පමණ) මුදලක් වන්දි ගෙවීමට සිදුව තිබේ.

එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 23,657,761ක මුදලක් අලාභ හානි ලෙස එම සමාගම විසින් ඉදිරිපත් කර තිබේ. එම සමාගම විසින් තමන්ට අය විය යුතු මුදල් පිළිබඳ මේ වන විටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවද වාර්තා වේ. මේ පිළිබඳ මුදල් අමාතයංශයෙන් විමසීමේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් එම මුදල අඩු කර ගැනීම සඳහා සාකච්ඡා කිර්මට කමිටුවක් පත් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවද වාර්තා විය.පසුගිය රජයේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය,ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (ජයිකා) ආධාර යටතේ ක්‍රියාත්මක වූ අතර, මෙම ව්‍යාපෘතිය මිල අධික හා පිරිවැය එලදායි නොවන වයාපෘතියක් බවත්,සැපයීම සඳහා එය සුදුසු ව්‍යාපෘතියක් නොවන බැවින් ව්‍යාපෘතිය හා ව්‍යාපෘති කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙසත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ උපදේශනය මත සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වෙත දන්වා තිබිණි. පසුගිය වසරේ ඔක්තෝබර් O6වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ව්‍යාපෘතියට අදාළ සියලු ගිවිසුම්ගතවීම් හා අනෙකුත් සියලු කටයුතු නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍යංශය යටතේ සිදුකල බැවින් ව්‍යාපෘතිය අවසන් කිරීමට හා අදාල චක්‍රලේඛනවලට අනුව ගෙවීම් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාතයංශයේ ලේකම් වෙත නියෝග කර ඇත. එමෙන්ම ව්‍යාපෘතිය වෙනුවෙන් මේ දක්වා පියවීමට ඇති බිල්පත් ගෙවා නිරවුල් කරන ලෙසද නියෝග කර තිබේ.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා OCG -JV යන ජපාන සමාගම් සමග පැවැති ගිවිසුම්2020.12.31 දිනෙන් අවසන් කිරීමට කටයුතු කර ඇත.මෙලෙස මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඉහත සඳහන් මුදල එම සමාගමට ගෙවිය යුතු බවට එම සමාගම විසින් දන්වා තිබේ.
(නවෝද්‍යා පවනි)


colombo-lrt-japan

colombo-lrt-japan