එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු අතර ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඉකුත් 14 වැනිදා දහවල් මීගහතැන්න බෝතලාව ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇතැයි මීගහතැන්න පොලීසිය පවසයි.   තියුණු ආයුධයකින් පහර දීමකින් මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීගහතැන්නෙ බෝතලාව පදිංචි වටගලගේ දොන් සනත් කුමාර නමැති 36 හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.  මියගිය අය සහ ඔහුගේ බාල සොයුරා අතර කාලයක් තිස්සේ පැවැති පෞද්ගලික ප්‍රශ්න මත දිගින් දිගටම ආරවුල් ඇතිවී තිබෙන බවත්,  මෙදින ද දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුවීමේදී බාල සොහොයුරා විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී යැයි මීගහතැන්න පොලිස් අපරාධ අංශාධිපති පොලිස් පරික්ෂක පාලිත රාමසිංහ මහතා පැවසීය.




මියගිය අයගේ නිවෙසට මීටර් 200ක පමණ දුරින් පිහිටි මාර්ගයේ දී මෙම ඝාතනය සිදුව ඇතැයි ද මේ  සඳහා මොවුන්ගේ පියා ද සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති බව  පොලිසිය සඳහන් කරයි.  පහර කෑමට ලක් වූ අය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එම ස්ථානයට පැමිණි මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.වී. වීරසේන මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නාගොඩ මහ රෝහල වෙත යොමු කරන ලෙස නියෝග කළේය.


එම ස්ථානයට පැමිණි පොලිස් සොකෝ අංශයේ පොලිස් පරික්ෂක සහන් මහතා ඇතුළු නිලධාරිහු විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගත්හ. සිද්ධියට සම්බන්ධ බව කියන 32 හැවිරිදි බාල සොයුරා ද 57 හැවිරිදි පියා ද ප්‍රදේශයෙන් පලාගොස් සිටිය දී ඊයේ 15 වැනිදා උදෑසන අධිනීතිඥ ගාමිණිය නල්ලපෙරුම මහතා මාර්ගයෙන් බාල සොයුරා මීගහතැන්න  පොලිස් ස්ථානයට පැමිණ භාරවූයේය. පහර දීමට යොදාගත් තියුණු මන්නා පිහියක් සොයාගත් බවත්, සිද්ධියට සම්බන්ධ පියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පොලිස් පරික්ෂක පාලිත රාමසිංහ මහතා පැවසීය.

සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය නාගොඩ මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණු අතර, අත්අඩංගුවට ගත් සැකකරු උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.


 -ප්‍රේමතිලක පෙරමුණ -