මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉවත් කිරිමේ තර්ජනයකට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන කෘඩියා සෙලනිකා හෙවත් පඬුකරඳ ගස ආරක්ෂා කිරිමේ අරමුණෙන් භික්ෂුන්වහන්සේ පිරිසක් පෙරේදා (10) සෙත් පිරිත් සජ්ඣායනා කර ඊට සිවුරක් ද පෙරවූහ.ජාතික භික්ෂු පෙරමුණ හා පුරාවස්තු සුරැකීමේ සංවිධානයට සම්බන්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් ගස පිහිටි ස්ථානයට පෙරේදා පෙරවරුවේ වැඩම කළ අතර එහිදී උන්වහන්සේලා ආගමික වතාවත් ද සිදුකළහ.සෙත් පිරිත් දේශනා කළ මහා සංඝරත්නය අනතුරුව ගස වටා චීවරයක් පලඳා පිරිත් නූල් ද බැන්දාහ.



එහිදී අනුශාසනාවක් කළ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික තංගල්ලේ නාරද හිමියන් සඳහන් කළේ රටක පාලකයන් පත් කරගනු ලබන්නේ ජනතාව සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට වුවත් වර්තමානයේ ආණ්ඩුවෙන් රටත් පරිසරයත් බේරා ගැනීමට සිදුවන තත්වයක් උදා වී ඇති බවයි.මෙම ශාකයේ තවත් ගස් කිහිපයක් ඇති බවට රජය ප්‍රකාශ කරමින් ගස විනාශ කිරීමට උත්සාහ ගත්තත් රටේත් ලෝකයේත් බෝධි වෘක්ෂ ගණනාවක් තිබෙන සමයක ශ්‍රී මහා බෝධිය ඉවත් කිරීමට කිසිවකු සුදානම් නැති බවද නාරද හිමියෝ සඳහන් කළහ.

අද දවසේ මෙම ගස සාංඝික කර චීවරයක් පළඳන ලද්දේ ගස ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් වශයෙන් බව ද උන්වහන්සේ සඳහන් කළහ.පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් මෙහිදී ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා කොන්ද කෙලින් තියාගෙන පොදු දේපළ රැක ගැනීමට රාජ්‍ය සේවකයන් බිය නොවිය යුතු බව පවසා ඇති වුවත් අද එසේ කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට පියවර නොගන්නා බවයි. අපට පමණක් නොව පරිසරය ආරක්ෂා කර ගැනීමට වැදි නායකයාටත් ආණ්ඩුව සමඟ නඩු කියන්නට සිදුවීම කනගාටුවට කරුණක් බව ද සමිත හිමියෝ සඳහන් කළහ.



ගස් කොළන් පැළ කිරීමට වවුලන්ගෙන් විශාල සේවාවක් සිදු වුවත් අද ආණ්ඩුව වවුලන් කරන සේවාවවත් පරිසරයට වෙනුවෙන් නොකරන බවට සමිත හිමියෝ මෙහි දී චෝදනා කළහ. ජාතික භික්ෂු පෙරමුණේ සාමාජිකයන් වන හෝමාගම ආනන්ද, තලහගම ඥානසිරි, අත්තයාල විජිත යන හිමිවරු ද ගම්පහ දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමයේ හා මුතුරාජවෙල අභය භූමිය රැක ගැනීමේ සංවිධාන නියෝජිතයෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

  (පුෂ්පකුමාර මල්ලවආරච්චි)