ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් හදිසි තීරණයක් ගනිමින් කොදෙව් සංචාරයට පැය කීපයකට පෙර වේග පන්දු පුහුණුකාර ධූරයෙන් ඉල්ලා අස්වීම පසුපස විවිධ කතාන්තර මේ වනවිට වාර්තාවී තිබේ. ඔහු දිගු කලක් තිස්සේ රටගැන තැකූ විශිෂ්ට ක්‍රීඩකයෙකි. එක්වරම ඉල්ලා අස්වීම පසුපස ඔහු රට ගැන නොහිතා දීමනාව ගැන සිතන ආත්මාර්තකාමියෙකු යයි විවේචන මතුවෙමින්ද පවතී.


චමින්ද වාස් ඔහුගේ සමීප හිතවතුන්ට දන්වා ඇත්තේ සිය දීමනාව සම්බන්ධ ගැටලුව සාධාරණ එකක් බවයි.
ඔහුට එක්වරම අස්වෙන්නට හේතුවූ අප්‍රසන්න සංවාදය ගැනද ඔහු හිතවතුන්ට දන්වා ඇත.
කළමනාකරණ අංශයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පසුගිය කාලය පුරා සේවය කරන වාස්ට
මේ කියන නව පත්වීම ලැබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය පිටත්ව යාමට පැය 11 ක් තිබියදී
වන අතර ඔහු පැය 7 ක් (වරුවක් පමණ ) තිස්සේ තමන්ගේ වේතන සම්බන්ධ ගැටලුව නිරාකරණයට උත්සාහයක නිරතවී තමන්ට එකඟවන්නට නොහැකි තැන පත්වීම ප්‍රතික්ෂේප කළ බව කියයි.
 ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා තමන්ට  බැනවැදීමක් කළ බව ඔහු හිතවතුන්ට පවසා තිබේ.
මින් පෙර වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් ශේඛර් එකදු ටෙස්ට් හෝ එක්දින ජාත්‍යන්තර
ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළ අයෙක් නොවූ පසුබිමක ඔහු ක්‍රිකට් ආයතනය මගින් මාසිකව ඇමරිකානු ඩොලර් 10,000 ක වැටුපක් ලබා තිබුණි. මේ අතරවාරයේ කළමනාකරණ අංශයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වාස් සේවය කරමින් සිටියේ ඩොලර් 3000ක මාසික වැටුපකටය.


ශේඛර් ඉල්ලා අස්වූ පුරප්පාඩුව වෙනුවෙන් හදිසියේ වාස්ව කැඳවනු ලැබ ඇත්තේ අතිරේක වැටුපකින් තොරව වන අතර සියලු අයට සංචාරය නිසා ලැබෙන අමතර දීමනාව පමණක් ඔහුට ලැබෙන බවක් කියා තිබේ.
 මීට පෙර කන්ඩායම් පුහුණුකරු තනතුර මෙලෙසම හිස්වූ විට ජෙරම් ජයරත්නට හදිසි කැඳවීම ලද මේ හා සමාන අවස්ථාවේ ඔහුට අමතරව රුපියල් ලක්ෂ 5ක දීමනාවක් ලබා දීම ගැනද එම තනතුරෙන් ඉවත්වූවද අමතර ලක්ෂ 5 ක් තවමත් වැටුප් ලබන බවද වාස් මේ අවස්ථාවේදී ප්‍රශ්න කර තිබේ.
ඔහුට ක්‍රිකට් සභාපති ෂම්මි ද  සිල්වා බැණ වැදී ඇති අතර චමින්ද වාස් දැනට දරමින් සිටි සියලු තනතුරු වලින් ඉවත්වන්නේ ඉන් පසුව බව හිතවතුන්ට පවසා තිබේ.

"මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිහතමානී ඉල්ලීමක් කළා. ක්‍රිකට්  ආයතනය එය ඉවත දැමුවා. මේ අවස්ථාවේදී මට කියන්නට තිබෙන්නේ එපමණයි. යුක්තිය ඉදිරියේදී ජයගනිවී”  යැයි වාස්  සිය ට්විටර් ගිණුමේ සඳහන් කර සිටියේය.