chaminda vass

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ වේගපන්දු පුහුණුකරු ලෙසින් පත්කළ චමින්ද වාස් කොදෙව් සංචාරයට පැය 04 කට පෙර සිය තනතුරින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මෙන්ම
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය අප්‍රසාදය පළකර තිබේ.  


කොදෙව් සංචාරයට යාමට නම් තමාට ඩොලර් 3500 ක් අමතරව අවශ්‍ය බව වාස් දන්වා ඇති අතර රුපියල් ලක්ෂ හතහමාරක් ගෙවීමට දැනටමත් එකඟව ඇති පසුබිමක අමතර මුදල ගෙවීමට හැකියාවක් නැතැයි ක්‍රිකට් ආයතනය දන්වා ඇත. ඒ අනුව වාස් ඉල්ලා අස්වී ඇත.

මේ අතර අද දින පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මේ ගැන නාමල් රාජපක්ෂ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ
"ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය හා මුළු ජාතියම වාස් සිය රට වෙනුවෙන් විශිෂ්ට දක්‍ෂතා දැක් වූ ක්‍රීඩකයෙකු ලෙස සලකනවා. ඔහු වසර ගණනාවක් පුරා කළ සේවය අගය කරනවා. නමුත් එවැනි තත්ත්වයක් තුළදී චමින්ද වාස් වැනි ප්‍රවීණයෙකු ක්‍රීඩාව ඇපයට තබාගෙන අවසන් මොහොතේදී සිය ඉල්ලා අස්වීම භාරදී පරිපාලනය ප්‍රතික්ෂේප කිරීම  අතිශය කනගාටුවට කරුණක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් අනුකුලව දැනටමත් වේතනයක් ලැබී තිබියදීත් වැඩි ඇමෙරිකානු ඩොලර් වැටුපක් සඳහා අසාධාරණ ඉල්ලීමක්  සිදුකිරීම කනගාටුවට කරුණක්. ඔහුට කොදෙව් සංචාරයට සහභාගි වන කණ්ඩායමට දිනපතා ගෙවන  දීමනාවද ගෙවීමට නියමිතව තිබුණා”

මේ අතර වාස්ගේ අස්වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයේ පවසා ඇත්තේ, අවසන් මොහොතේදී චමින්ද වාස් ගත් මෙම තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ප්‍රකාශ කරන බවයි. මේ වනවිට සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික තත්වය තුළ  වාස් විසින් පෞද්ගලික මුදල් හා වාසි මත පදනම්ව අවසන් මොහොතේදී මෙවැනි හදිසි හා වගකීම් විරහිත පියවරක් ගැනීම කනගාටුදායක බව ඔවුන් දන්වා තිබුණි.



ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය, වාස්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදන නිකුත් කොට ඉතා කෙටි වේලාවකින් එයට ප්‍රතිචාර දක්වමින් වාස් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර සිටියේ, ඔහු කළ නිහතමානී ඉල්ලීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් සිය ඉල්ලා අස්වීම සිදුකළ බවයි.

"මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිහතමානී ඉල්ලීමක් කළා. ක්‍රිකට්  ආයතනය එය ඉවත දැමුවා. මේ අවස්ථාවේදී මට කියන්නට තිබෙන්නේ එපමණයි. යුක්තිය ඉදිරියේදී ජයගනිවී”  යැයි වාස් වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර සිටියේය.