මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියක වන කෞෂල්‍යා හෙට්ටිආරච්චි ගේ නම හා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස භාවිත කරමින් එම වෛද්‍යවරිය ලෙස පෙනී සිටිමින් බෙහෙත් කරමින් මීගමුව මිනුවන්ගොඩ හා නැදගමුව ප්‍රදේශවල ෆැමිලා කෙයාර් මෙඩිකල් සෙන්ටර් නමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන ගිය 

ව්‍යාජ දොස්තර  කාන්තාවක මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා හෙට්ටිආරච්චි මේ ගැන පොලීසියට පැමිණිලි කරමින් දන්වා තිබුනේ තමා ආකාරයට පෙනී සිටින වෙනත් වෛද්‍යවරියක කුඩා ප්‍රමාණයේ පුද්ගලික රෝහල් කිහිපයක සේවය කරන බවට තොරතුරු ලබා ඇති බවත් ඇගෙන් රෝග සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇතිවන සංකූලතා නිසා තමන්ටද විවිධ ඇමතුම් ලැබෙමින් පවතින බවත්ය.ඇය පාවිච්චි කරනවා යයි කියන කාඩ්පතේ තමාගේ ලියාපදිංචි අංක පවා සටහන් කර ඇති බවය.
නොදන්නා අයෙකු නිසා සිදුවන මේ කරදරය නවතා දමන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලා තිබී ඇත.
මෙම ව්‍යාජ දොස්තර කාන්තාව ඇගේ ඡායාරූපය යොදා ෆෙස්බුක්හි විස්තරද ප්‍රසිද්ධ කර ඇති අතර කොළඹ විශාඛා විද්‍යාලයේ හා ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද බවටද නොමග යවනසුලු තොරතුරු පළ කර ඇතැයිද ඇය මහාචාර්යවරියක ලෙස පෙනී සිට ඇතැයිද වාර්තා වී තිබේ. ඇමතුම් ලබාගන්නා රෝගීන්ට කෞෂල්‍යා වෛද්‍යවරිය කතාකරන ආකාරයට කතාකිරීමටද ඇය සේවය කරන රෝහල ගැන පවා විස්තර කිරීමටද ව්‍යාජ කාන්තාව උත්සාහගෙන තිබේ.
 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියගේ ලියාපදිංචි අංකය භාවිත කරමින් වසර ගණනාවක් තිස්සේ මෙම කාන්තාව

ගම්පහ ප්‍රදේශයේ රෝගීන් ගණනාවකට ප්‍රතිකාර ලබාදී ඇති බවද අනාවරණය වී තිබේ.
සැකකාර කාන්තාව විශේෂඥ වෛද්‍යවරියගේ තොරතුරු ඇතුළත් කර මුද්‍රණය කර තිබූ කාඩ් පත්ද සොයාගන්නට පොලිසිය සමත්ව ඇත.
සැබෑ වෛද්‍යවරියගේ පැමිණිල්ල මත ඇයව අත්අඩංගුවට ගැනීමට ඊයේ පොලිසිය කටයුතු කරන ලද අතර වැඩිදුර පරීක්ෂණ සිදුවේ.