buddhist monk art

රුපියල් කෝටි දෙකකට වැඩි මුදල් හා දේපළ සතුව තිබු අගලවත්ත උඩවෙල ශ්‍රී යටියන නැගෙනහිර නියන්විල ධර්මායතනයේ තාවකාලික විහාරාධිපතිව වැඩ විසූ වලගෙදර  මහානාම හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව උන්වහන්සේගේ ගිහී සහෝදරයන් පැමිණීලි  කරඇති බව මතුගම පොලිසිය කියයි. මෙම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසු යටියන අස්සජි හිමියන් මීට වසරකට පමණ පෙර අපවත්වීමෙන් පසු විහාරස්ථ දායක සභාව මගින් තාවකාලික විහාරාධිපති ලෙස වලගෙදර මහානාම හිමියන් පත් කරගෙන තිබු බව පොලිසිය කියයි.


1984 දෙසැම්බර් 01 වැනිදා පැවිදිවී  විහාරස්ථානයේ සිටි හිමි නම මෙම  02 වැනිදා හදිසියේ  අසනීප වී කළුතර 

නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබු අතර එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වී ඇත. මතුගම පොලිසිය මේ පිළිබඳ වාර්තාවක් මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්  ධම්මික උඩුවේ විතාන මහතාට ඉදිරිපත් කළ අතර විනිසුරුවරයා දේහය නිරීක්‍ෂණය කර ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කළුතර මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කොට  තිබුණි.


ඒ අනුව දේහය නිරීක්‍ෂණය කළ කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර නාගොඩ මහ රෝහලේ විශේෂඥ  අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රියන්ත අමරරත්න මහතාට නියම කළේය. ඒ අනුව පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිරුරේ කොටස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා රජයේ රස පරීක්‍ෂක වෙත යවා ඇති බවත් එම වාර්තා ලැබුණු පසු මරණයට හේතුව ප්‍රකාශයට පත් කරන බවත් සඳහන් කළේය. එම වාර්තාව අනුව මරණය සම්බන්ධව තීරණය පසුවට කල් තැබුණු අතර දේහය විහාරවාසී හැළඹ තුසිත හිමියන්ට බාර දෙන ලෙස නියම කෙරිණි.