ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය සඳහා ඔස්ට්‍රේයානු ජාතික ටොම් මූඩි පත් කිරීමට බොහෝ ඉඩ ඇති බව වාර්තා වේ. තුන් අවුරුදු කොන්ත්‍රාත්තුවක් සඳහා සහ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු අංශ අධීක්ෂණයට ඔහු සමග සාකච්ඡා සිදුකරමින් සිටින බව හෙළිවේ.මෙම ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර ක්‍රීඩා අමාත්‍යවරයා සහ වත්මන් ක්‍රිකට් බලධාර්න් අතර සිදුකෙරුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අලුතින් පිහිටුවීමට යෝජිත තනතුරකි.  ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ සියලු කරුණු නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා යටතේ සිදු කිර්මට නියමිතය.මෙම පත්වීම තුළින් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ සහ ඉන්දියාවේ ක්‍රිකට් ව්‍යුහයන් තුළ ක්‍රියාකාරීව දායක වන මූඩිගේ අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ලබා ගැනීමට අපේක්ෂා කරයි. එමෙන්ම නවීන තාක්‍ෂණික දියුණුව සහ ක්‍රීඩාවේ යාවත්කාලීනතා උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිර්මටද මෙමගින් අපේක්ෂා කෙරේ.

"ටොම් මූඩි වෙනස් මතයක් ඇති ස්වාධීන පුද්ගලයෙක් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී ඔවුන්ගේ ව්‍යුහය අවබෝධ කරගත් අයෙක්. ඒ වගේම අයි.පී.එල්. තරගාවලියට සම්බන්ධ වූ පුද්ගලයෙක්. අනෙක් පැත්තෙන් ඔහු එංගලන්තය වුෂ්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමග සම්බන්ධ වී ඇති අතර ඒවායේ ව්‍යුහය අවබෝධ කරගත් පුද්ගලයෙක් ලෙස හඳුනන්න පුළුවනි.මීට අමතරව ඔහු කැරිබියානු ප්‍රිමියර් ලීග් සමග සම්බන්ධ වීම ඇතුළු ක්‍රිකට් සම්බන්ධයෙන් අත්දැකීම් රාශියක් ඇති පුද්ගලයෙක්. ඒ නිසා ඔහුගේ සහාය ලබාගැනීම මේ අවස්ථාවේ සිදුකළ යුතුයි" යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි.

මූඩි 2005 සිට 2007 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වඩාත් කැපී පෙනෙන සේවයක් කළ අතර, 2007 වසරේදී ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා රැගෙන ගිය පුහුණුකරුවෙකි. ටොම් මූඩි මේ වනවිට අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

 (සුරේෂ් දේශාන්)