වාහන ආනයනයට පනවා ඇති සීමා විනිමය අනුපාතයේ ස්ථාවරත්වය අනුව ඉදිරියේ දී ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවැසීය. මුදල් රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.  අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ ද ප්‍රකාශ කළේය. පසුගිය රජය විදේශ විනිමය අසීමිතව ගෙන තිබීමත් කොමිස් ප්‍රශ්නය නිසාත් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය මත පැටවී තිබූ අධික පීඩනය සමනය කිරීමට අපේ රජයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වුණා.  මේ අනුව තෝරාගත් භාණ්ඩ  කිහිපයකට ආනයන සීමා පැනවීමට මාර්තු මාසයේ සිට පියවර ගත්තා.




වාහන ගෙන්වීමත් සීමා කළා. නමුත් අපි බෙහෙත් වගේ දේවල් වෙන් වීම සීමා කරලා නැහැ. අපි ඒ දේවල්  ගෙන්වීමට ඉඩ දුන්නා. අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමා කිරීමට තීරණය කළේ ඒ වනවිට රටේ තිබූ තොග ප්‍රමාණ ද සැලකිල්ලට ගෙනයි..  මේ විදේශ විනිමය අර්බුදයට ලෝකයේ සියලු රටවල් අද මුහුණ දී සිටිනවා. මෙය අපිට විතරක් වෙච්ච දෙයක් නොවෙයි. මුළු ලෝකයටම මේ ප්‍රශ්නය බලපාලා තියෙනවා.  මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට සෑම රටක්ම විවිධ ක්‍රියා මාර්ග ගත්තා. සමහර රටවල් මුදල් පවා අච්චු ගැහුවා. සමහර රටවල් පොලී අනුපාතය බිංදුවටම අඩු කරලා තියෙනවා. තවත් සමහර රටවල් ණය පොලී ගෙවීම නතර කරලා තියෙනවා.




වාහන ආනයනයෙන් විදේශ විනිමය අනුපාතයේ ස්ථාවරභාවයට දැඩි බලපෑමක් වන අපි දන්නවා. වාහන සඳහා අපි බිලියන එකක මුදලක් වෙන් කරලා තියෙනවා. ඔබලාගේ කාලයේ දී අවුරුද්දකට සියයට හතක ප්‍රමාණයට රුපියල අවප්‍රමාණය වුණා. අපිට එය සියයට 2.7 කට නතර කර ගැනීමට හැකිවුණා. අපේ පාලනයයි ඔබලාගේ පාලනය අතරයි ඇති වෙනස ඉන් හොඳින් පේනවා. අපි මේ මුදල් ප්‍රශ්නයටම මුහුණ දෙනවා. අපි පුළුවන් පුළුවන් අවස්ථාවල දී වාහන ආනයනකරුවන්ට සහන දීලා තියෙනවා. වාහන නිදහස් කරලා තියෙනවා.


වාහන ආනයන සීමා සම්බන්ධයෙන් මේ අවුරුද්දේ අන්තිමට විතරක් අපිට කරුණු සලකා බලන්න පුළුවන් වේවි. මේ ආනයන සීමා පැනවූයේ තාවකාලික පදනම මතයි. ඉදිරියේදී එම ආනයන සීමා විනිමය අනුපාතයේ ස්ථාවරත්වය අනුව ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.



-සුජිත් හේවාජුලිගේ-