narahenpita-covid-vaccine

කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයේ ජනතාව සදහා කොරෝනා මර්දන එන්නත ලබාදීමේ කටයුතු සිදු කිරීමට කිරුළපන මංසන්දිය ආසන්නයේ පිහිටි නාරාහේන්පිට බටහිර බෙහෙත් ශාලාවේදී අද සිදුවූ අතර එහි පිළිවෙල පිළිබඳ ප්‍රශ්නය නිසා පිරිසකට නැවත හැරී යාමට සිදුවූ නිසා කෑකෝ ගැසීම් මැද උණුසුම් තත්වයක් මතුව තිබේ.


“ලියාපදිංචිවෙලා නැති අය සිකුරාදා එන්න. පෙරේදා ලියාපදිංචි වුණු කට්ටිය විතරයි අද ගන්නේ . ටෝකන් එකේ අංකය පිළිවෙලටයි ගන්නෙ. අංක නැති අය ඉන්න එපා,” යනුවෙන් බලධාරීන් පවසා ඇත්තේ උදේ 6.45 සිට පැය 3 කට ආසන්න කාලයක් පෝලීම්වල සිටීමෙන් පසුව 9.45 ට පමණ බව වාර්තා විය.
මේ නිසා සිදුවූ අනවශ්‍ය රස්තියාදුව හා අධික තදබදය මත රෝගය පැතිරීමේ අවදානම නිසා හිස් අතින් යන්නට සිදුවූවන්ගෙන් බලධාරීන්ට දෝෂාරෝපණ එල්ල විය.
නාරාහේන්පිට, කිරුළ පාර බටහිර බෙහෙත් ශාලාව ඉදිරිපිට එන්නත් ලබා ගැනීමට රැස්වූ පිරිස් අතර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය හා ඒ ආසන්නයේ වාහන රාශියක් ගාල් කර තිබීම නිසා වාහන තදබදයක්ද අද වාර්තා වී තිබුණි.


එන්නත්කරණ කටයුතු සිදුකිරීම සඳහා නිසි සැලැස්මක් නොමැති බව වැඩිදෙනෙකුගේ මතය විය.
“අපිට ගන්න පිළිවෙල කියන්න. අපිට අංක නෑ. අංක නැතුව අපිට එන්න කිව්වා. 6.45 ඉඳන් මෙතන. වැක්සින් එකට ඉස්සෙල්ලා අපිට කොරෝනා හැදිලා තියෙයි. මෙතන කිසිම පිළිවෙලක් නෑ,” චෝදනා කරුවෙක් පැවසීය.

ඇතැම් පාර්ශ්ව විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරියද අද පවසා තිබුණි.