bathiya-santhush-sunil-rohana

“ඇඩ්‍රස් නෑ” චිත්‍රපටයේ ගීතයක් වාණිජ්‍ය කටයුත්තක් සඳහා යොදාගෙන එහි කර්තෘභාග මුදල් නොගෙවා මහාචාර්ය සුනිල් හා ආචාර්ය රෝහණ දෙදෙනාට අසාධාරණයක් සිදු කිරීම නිසා ඔවුන් දෙන්නා  ගායක ගායිකාවන්ගේ එකමුතුවෙන් සැදුම්ලත් ඔස්කා සංවිධානයේ විධායක මණ්ඩලයෙන් ඉවත්වූ බවට ලිපියක් පසුගිය දිනවල පළවිය.  එහිදී චෝදනාවට බඳුන්වූ භාතිය සංතුෂ් දෙන්නා ඔවුනගේ සමාගම හරහා ප්‍රතිනිර්මාණය කළ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ එකී ගීතය වෙනුවෙන් එහි නිෂ්පාදකට මුදල් ගෙවූ බව කියති. නමුත් නිෂ්පාදකවරයා ගීතයේ නිර්මාණකරුවන්ට ගෙවා නැති නිසා මෙම ගැටලුව පැනනැගී ඇතැයි ඔවුහු පැහැදිලි කරති. කරුණු දක්වමින් භාතිය හා සංතුෂ් මෙසේ කියා ඇත.




"ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහ සර් හා මහාචාර්ය සුනිල් ආරියරත්න සර් මේ වෙනුවෙන් දක්වා ඇති කරුණුවලට අනුව අපේ හදවත්තේ ගැඹුරුම තැනින්, ඒ දෙදෙනාට ගරු කරන දෙන්නෙක් විදිහට අපි ලිපියක් අපේ මුහුණු පොතට (FB) දැම්මා. ඒ එතුමන්ලා වැරැදි යැයි කියලා චෝදනා කරන්න නොවෙයි. සිදුවී ඇති දේ ගැන කරුණු කාරණා කෙළින්ම ඉදිරිපත් කරන්නයි.
 අපි දෙදෙනා මේ ක්ෂේත්‍රයට පැමිණි දා සිට, හැකි අයුරින් අපේ ගීත නිර්මාණය කරගෙන, ඒවා ජනගත කර, ඉන් ලැබෙන ආශීර්වාදයෙන් පුළුවන් තරම් දුරක් බොහොම පරිස්සමට මේ ගමන මෙතෙක් දුරක් ආවා. අවුරුදු 23ක් සංගීත ක්ෂේත්‍රයේ ගෙවුණු කාලය ඉතා වගකීමෙන් පැමිණි ගමනක් බව කාරුණිකව කිවයුතුයි. සමාජ මාධ්‍ය මෙතරම් ප්‍රචලිත, සැමදෙනාම පරිශීලනය කරන යුගයක ගීතයක අයිතිය බලෙන් පැහැරගෙන එවැනි ප්‍රශ්නයක් අප හිස මත පටව ගන්නට තරම් අප වගකීම් රහිත මිනිසුන් ලෙස සිතීම පුදුමසහගතයි.
අප ආයතනයට තවත් පෞද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටලුව පැනනැඟුණේ.
මීට පෙරත් අපි ඇත්තටම මොකද වුණේ කියන කාරණාව. එතුමන්ලාට පැහැදිලි කරලා දුන්නා. නමුත් එතුමලා OSCA ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍යවල අප ඔබන්ගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදුවූ ආකාරය හරි ආකාරව පැහැදිලි කරදීමෙන් පසුවද, නැවතත් අප වංචාවක් කර ඇති බව සඳහන් කර තිබීම පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා
 එය, අප දැඩි ලෙස සිතැවුලට පත්කළ කරුණක්ද වුණා.

ඇත්තටම වුණේ මොකක්ද?

 ඒ පෞද්ගලික ආයතනය එක් ගීතයක් සඳහා රුපියල් දෙලක්ෂ අසූදාහක මුදලක්ද අප ආයතනයට ගෙවීමට එකඟ වුණා. එහිදී අප කාර්යමණ්ඩලය එයින් රුපියල් හැටදහසක මුදලක් කර්තෘභාග වෙනුවෙන් වෙන් කළා. අපි අපේ කාර්යමණ්ඩලයට දැනුම් දුන්නේ, ගීතවල බුද්ධිමය දේපළ හිමිකරුවන්ට කතා කර අවශ්‍ය පිරිවැය ලබාදී, අවශ්‍ය අවසරය ලබාගන්නා ලෙසයි. මෙම මුදල් අගය අප ආයතනය වෙන් කළේ මෙම කාලවකවානුවේ OSCA ආයතනය සංගීත වැඩසටහන්වල ගීත ප්‍රතිනිර්මාණය සඳහා රුපවාහිනී නාලිකා සමග රුපියල් හැටදහසක අගයක් සාකච්ඡා කරගෙන යන පසුබිමකයි.මෙම වැඩසටහනට තීරණය වූ ගීත අතර"ඇඩ්‍රස් නෑ” චිත්‍රපටයේ ගීතයක් තිබුණා. අප ආයතනය සියලුම ගීතවල හිමිකරුවන් සමග සම්බන්ධ වී කර්තෘ භාග පිළිබඳව එකඟවූ අතර, "ඇඩ්‍රස් නෑ" යනු චිත්‍රපටයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එම ගීතයේ අයිතිය පිළිබඳ තොරතුරු විමසුවා. එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට
මෙම ගීතයේ අයිතිය ඔහු සතුව ඇති බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක මුදලක් ගෙවා, මෙම ගීතය භාවිත කීරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබා ගත්තා. මෙම සමස්ත ක්‍රියාදාමයම සම්බන්ධ නිල ලිපිලේඛන අප ආයතනය සතුව ඇති බවත්, අවශ්‍ය නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවත් දන්වන්න කැමතියි.
ඊට පසුවත් මේ සම්බන්ධව අපට චෝදනා නැගෙන විට, අප විමතියට පත්වූයේ ඒ නිසයි. එබැවින් මේ සිදුවීම ආරංචි  වූ වහාම අප උත්සාහ කළේ රෝහණ සර් හමුවීමටයි. අප එතුමාගේ නිවසේ දොරකොඩටම පැමිණියත් අපව හමුනොවී, OSCA ආයතනය අප පාර්ශව දෙක සාකච්ඡාවකට ගෙන්වූ අවස්ථාවේද අප සමග සාකච්ඡා නොකොට අප මගහැර ඔහු කාර්යාලයෙන් පිටව ගියා. ඉන් අනතුරුව කීප වරක්ම විවිධ පාර්ශව හරහාද එතුමා හමුවීමට උත්සාහ කළත් අප හට ඒ අවස්ථාවන්ද නොලැබී ගියා. මෙය අපටත් කනගාටුව සහ හිත්වේදනා ගෙනදෙන සිදුවීමක්. එල්ලවෙන චෝදනාවලට වඩා මේ හේතුවෙන් එතුමන්ලා සිතැවුලට පත්වීම, කිසි විටෙකත් අපගේ මේ ජීවිතය තුළ අප අපේක්ෂක්ෂා නොකළ සිදුවීමක්.


මෙම ගැටලුව විසඳාගත යුතුවන්නේ එතුමලා සහ චිත්‍රපටි නිෂ්පාදකවරයාගේ පාර්ශවය අතර බව අපට පෙනී යනවා.
එතුමන්ලා කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා, රුපියල් හැටදහස (6O,OOO) බැගින්, රුපියල් එක් ලක්ෂ
විසිදහසක (120,000/=) කර්තෘභාග මුදලක් අපේ අතින්  ලබාදීමට අපේක්ෂ කරන බව අප OSCA ආයතනයට ලිඛිතව දැනුම් දුන්නා. නමුත් යම් හෙයකින් එතුමන්ලා මීට වඩා මුදලක් අපේක්ෂා කරන්නේ නම් ඉහත කී මුදලට අමතරව, ඔවුන් කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා තනු නිර්මාණයට සහ පද රචනයට රුපියල් ලක්ෂ දෙක බැගින් (200,000/=), ලක්ෂ හතරක (400,000/=) මුදලක් අප ආයතනය විසින් ප්‍රදානය කිරීමටද කැමැත්ත ප්‍රකාශ කළා. අප විසින් OSCA ආයතනයට දැනුම් දුන්නේ රෝහණ සර්ගේ ලිපිය ලැබුණු
ජනවාරි මාසය තුළමයි. අපට අද වනතුරු මෙයට පිළිතුරක් ලැබී නැහැ. මෙවැනි තත්වයක් තුළ අප ගෙවීම් පැහැර ඇති බවට නඟන චෝදනා අපගේ මවිතයට සහ කනගාටුවට කාරණයක්.

අවසන් වශයෙන් කියන්න තිබෙන්නේ එතුමන්ලා වැරදි වැටහීමක් නිසා මොන චෝදනාවක් කළත්, ඔවුන් දෙදෙනා මේ රටේ කලාවට සිදුකළ විශිෂ්ට සේවය, කරපු නිර්මාණවලට අපේ හිතේ ඇති ආදරයට පුංචි. පළුද්දක්වත් කරන්න බෑ. සිදුවුණදේ නැවත මතක් කළේ එතුමන්ලා වැරදී යැයි කියලා චෝදනා කරන්න නෙවෙයි. සිදුවී ඇති දේ ගැන කරුණු කාරණා කෙළින්ම ඉදිරිපත් කරන්නයි. ඒ මොනදේ වුණත් අපි එතුමන්ලාට හදවතින්ම ආදරෙයි. ඒකෙ වෙනසක් නෑ ".

සටහන - සමන්ත යහම්පත්

පෙර ලිපිය
භාතිය සන්තුෂ්ට එදිරිව සුනිල් හා රෝහණ