අම්පාර - දමන ප්‍රදේශයේ කාන්තාවක සහ ඇයගේ පුතා කපා කොටා ඝාතනය කළ බව කියන යුද හමුදා විශේෂ බළකායේ (එස්.එෆ්.) හිටපු සෙබළකු තිස්සමහාරාම ප්‍රදේශයට පලාගොස් සැගවී සිටියදී ඊයේ (02) අත්අඩංගුවට ගත් බව දමන පොලිසිය කියයි. සැකකරු මෙම කාන්තාව මුහුණු පොතෙන් හඳුනාගෙන පසුව ඇය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව කියති. අත්අඩංගුවට ගත් සැකකරු දින 03 ක කාලයක රැඳවුම් නියෝගයක් පොලිසිය ලබාගෙන ඇත.   මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන  ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි හිටපු සෙබළෙකි.


මවට පිහියෙන් කොටන අවස්ථාවේ 13 හැවිරිදි පුතා මව බේරාගැනීමට  උත්සාහ කරද්දී ඔහුටද පිහියෙන් පහරදී 
තිබෙන බව පරික්ෂණවලින් අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය. අනේ මාමේ අම්මා මරන්න එපා යැයි  කියමින් 13 හැවිරිදි ළමයා සැකකරුගේ ඇගේ එල්ලුණු අවස්ථාවේ ඔහු දරුවාටද මන්න පහර එල්ල කර ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවටගත් සැකකරුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ යැයිද පොලිසිය පවසයි.  මෙසේ ඝාතනය කර තිබුණේ දමන  පොලිස් වසමට අයත් වරාලත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි  දිනේෂානි සඳමාලි කුලරත්න සහ 13  හැවිරිදි ශ්‍රීමාල් චමින්ද නමැති ඇයගේ පුතාය.


අත්අඩංගුවටගත් සැකකරු ඝාතනය  කෙරුණු සඳමාලිගේ අනියම් සැමියා  බවද පොලිසිය කියයි."  තිස්සමහාරාමයේ පදිංචි මෙම  සැකකරු මීට කාලයකට ඉහතදී මුහුණු  පොතෙන් සඳමාලි නමැත්තිය හඳුනාගෙන ඇත. මුහුණු පොතෙන් හඳුනාගත් සඳමාලි සමග සැකකරු  අනියම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන පසුව ඇයගේ නිවසේ පදිංචියට පැමිණ තිබේ. සඳමාලි නමැත්තියගේ නිවෙසට පදිංචියට පැමිණි සැකකරු අම්පාර නගරයේ ටයර් වැඩපොළක  රැකියාවට ගොස් ඇත. මෙම සිද්ධියවූ දිනට පෙර දින  රාත්‍රියේ (31) වැඩ නිමවී එනවිට සැකකරු අම්පාර නගරයේ කඩයකින් ප්‍රයිඩ් රයිස්, පීට්සා සහ බියර් බෝතල් දෙකක් රැගෙන නිවෙසට පැමිණ ඇතැයි කියති.


අසල්වාසීන් කිහිප දෙනෙකු සමග සඳමාලිගේ නිවසේ එදින රාත්‍රියේ සාදයක් පවත්වා ඇති අතර, එහිදී සඳමාලිද ගී ගයමින් නටා ඇති බව  සාදය අවසන්වී එයට සහභාගී වූ අය මධ්‍යම රාත්‍රියේ නිවෙසින් පිටත්ව ගොස් ඇති බවත්, පසුදින (01) අලුයම් කාලයේ සඳමාලි පුතාට පාසල් යාමට කෑම පිසීමට මුළුතැන්ගෙට ගොස් ඇති බවත් ඒ වනවිටත් වෙරි මරගාතෙ සිටි බව කියන සැකකරු හා සඳමාලි මේ අවස්ථාවේ කිසියම් කරුණක් මුල්කරගෙන ඇතිවූ බහින් බස්වීමක් දුර  දිගයාමෙන් පසුව මෙම සිද්ධිය වී ඇති බවද කියති.


ඝාතන සිද්ධියෙන් පසුව සැකකරු ඔහුට අයත් යතුරුපැදියේ නැගී දමන ප්‍රදේශයේ සිට තිස්සමහාරාම බලා පිටත්ව ගොස් ඇතැයිද පොලිසිය කරුණු 
හෙළිකර ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු සියල්ල හෙළිවිණි  යැයිද ජ්‍යෙෂ්ඨ පොලිස්නිලධාරියෙක්  කීය. අම්පාර පොලිස් අධිකාරි (O1) ප්‍රියදර්ශන හේරත් මහතාගේ මෙහෙයවීම යටතේ දමන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් තිස්සමහාරාම ප්‍රදේශයට ගොස් ඊයේ අලුයම් කාලයේ සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.  දමන ප්‍රදේශයේ සිට සැකකරු තිස්සමහාරාම ප්‍රදේශයට පලා ඒමට යොදාගත් බව කියන යතුරුපැදියද ඔහුගේ ඥාතියකුගේ නිවසේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.


සැකකරු යුද හමුදා විශේෂ බළකායේ (එස්.එෆ්.) සෙබළකු ලෙස රාජකාරි කළ  වකවානුවේ නිවාඩුවකට නිවසට පැමිණ සිටියදී සිවිල් ආරක්ෂක බළකාය සෙබළකුට 2014 වසරේදී පමණ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම  සම්බන්ධයෙන් වසරක කාලයක් සිර දඬුවම් ලබා නිදහස්ව පැමිණ සිටි බවද පොලිසිය කියයි. මෙම සැකකරුගේ මව ඩුබායි රටේ ගෘහසේවිකා රැකියාවක් කරන අතර සැකකරු ඇයගේ එකම පුතා බවද සඳහන්වේ . මොහු වෙනත් අපරාධවලට සම්බන්ධ ද යන්න ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට දමන පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.  


සැකකරුගේ සිරුරේ සිරිම් තුවාල ගණනක් තිබෙන බවද පොලිසිය පවසයි.  මව බේරා ගැනීමට ඇයගේ පුතා සැකකරු නියපොතුවලින් සූරන්නට ඇති බවට පොලිසිය සැකකරයි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ අම්පාර මහ රෝහලේ අධිකරණ  වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.


-ශ්‍රිනාත් ප්‍රසන්න  ජයසුරිය-