[Trending][btop]
[News][stack]

සිංහල කියාදෙද්දී කාන්තා වර්ණනා තියනවා පිරිමි ගුරුවරු හරියන්නෑ - විශාඛා විදුහල්පතිනිය අලුත් සර්ව එළවා දමයි


උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම සඳහා තම විදුහලට පිරිමි ගුරුවරයකු නුසුදුසු යැයි කියමින් කොළඹ විශාඛා බාලිකාවේ විදුහල්පතිනිය එම විදුහලට පැමිණි ගුරුවරයකු ප්‍රතික්ෂේප කරන ලද පුවතක් වාර්තාවේ.
මෙම ගුරුවරයා මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට වාර්ෂික ස්ථාන මාරු යටතේ මෙම විදුහලට පැමිණ ඇත්තේ ඉකුත් 4 වැනිදා ය. බුලත් හුරුල්ලක් දී තමන්ගේ මාරුවීම් ලිපිය විදුහල්පතිනියට පිළිගැන්වූ අවස්ථාවේ දී “ ඔයාට මෙහෙ ඉඩ නැහැ. සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්න පිරිමි ගුරුවරයෙක් සුදුසු නැහැ” කියමින් එම ලිපිය තමන් වෙත දමා ගැසූ බවට
එම ගුරුවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.

එමෙන්ම විදුහලේ ආරක්ෂකයන් යොදවා තමන් විදුහලෙන් ඉවත් කිරීම සඳහා විදුහල්පතිනිය කටයුතු කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වන අතර ඒ පිළිබඳව එම ගුරුවරයා බම්බලපිටිය පොලිසියට ද පැමිණිලි කර ඇත.
“උසස් පෙළ සිංහල විෂයය සඳහා මෙතෙක් පිරිමි ගුරුවරයකු පැමිණ නැහැ. ඒ විෂයයේ කාන්තා වර්ණනා තියෙනවා. ඒ වර්ණනා උගන්වන්න තරම් පෞරුෂයක් මේ ගුරුවරයාට නැහැ” මේ සම්බන්ධයෙන්  කළ විමසුමකට පිළිතුරුදුන් විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොල පවසා තිබේ.

මෙම ගුරුවරයා විශාඛා විදුහලට පැමිණ ඇත්තේ අමාත්‍යාංශයේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනුව ය.
මෙම ගුරුවරයා පාසලට ස්ථාන මාරු නොකරන ලෙස තමන් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව කී විදුහල්පතිනිය එම ඉල්ලීම ගුරුමාරු මණ්ඩලය පිළිගෙන නැතැයි ද මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ලේකම්වරයාට පැහැදිලි කර දුන් බව ද කියා තිබේ.

තොරතුරු - නිලන්ත මදුරාවල