ප්‍රභූවරුන් වශයෙන් පෙනී සිටිමින් ව්‍යාජ ලේඛන සකසා වාහන කුලියට ලබාදෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා කොටස් කර හෝ අංක වෙනස් කර වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරිමේ ජාවාරමක නිරත  සැකකරුවෝ තිදෙනෙක් මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.  ඔවුන් රුපියල් කෝටි 10 ක පමණ වාහන මේ ආකාරයෙන් වංචා කර ඇති බවත්, ඔවුන් එලෙස වංචනික ලෙස අලෙවි කර තිබූ මෝටර් රථ 16 ක් ඇතුළු වාහන 17 ක් පොලිසිය බාරයට ගත් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යක්කල සහ මීරිගම ප්‍රදේශවල  පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.  


මෙම සැකකරුවන් මුලේරියාව පොලිස් වසමේ වාහන කුලියට ලබාදෙන ආයතනයකින් වාහනයක් ඉකුත් වසරේ මැයි මාසයේදී ලබාගෙන ඇති අතර, ඔවුන් එම වාහනය වංචා සහගත ලෙස අස්ථානගත කර ඇති බව පොලිසිය කියයි.  එම මෝටර් රථයේ හිමිකරු සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී සැකකරුවන් ආයතනයට

ලබා දී තිබූ තොරතුරු ව්‍යාජ ඒවා බවට හෙළිවිමෙන් පසුව සිද්ධිය මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය දීර්ඝ විමර්ශනයක් සිදුකර ප්‍රධාන සැකකරු උපක්‍රමශීලීව මුල්ලේරියාවට ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී  මෙම වංචාවට ඔහුට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් තවත් දෙදෙනකු මීරිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.



මෙම සැකකරුවන් ව්‍යාජ හැඳුනුත්, විදුලි බිල්පත්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කර ඒවා වාහන කුලියට ලබාදන ආයතනවලට ලබා දී වාහන ලබාගෙන පසුව ඒවායේ කොටස් ගලවා චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර නව වාහන වශයෙන් අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.


ඔවුන් වාහන කුලියට දෙන ආයතන 10කින් පමණ මේ ආකාරයට වාහන වංචා කර ඇති බවත්, ඔවුන් එවැනිම ක්‍රියා සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්ව ඇප මත සිටින පුද්ගලයන් බවත් පොලිසිය කියයි.  සැකකරුවන් මෙලෙස අලෙවි කර තිබූ මෝටර් රථ 16ක් සහ වෑන් රථයක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇති අතර, වාහන අලෙවිසල්වලට වාහන දී අස්ථානගතව ඇති නම් ඒවායේ හිමිකරුවන් මුල්ලේරියාව පොලිසියට පැමිණ එහි ඇති වාහන හඳුනාගන්නා ලෙසට පොලිසිය ඉල්ලීමක් කරයි. මෙම සැකකරුවන් සමාජයේ ප්‍රභූ පුද්ගලයන් වශයෙන් ජීවත්වන බවත් ඔවුන් වංචා කරන මුදලින් කුලී පදනම් මත සුඛෝපභෝගී වාහන ලබාගෙන ඒවා තමන්ගේ වාහන වශයෙන් භාවිත කරන බවත් පොලිසිය සඳහන් කරයි.  පුද්ගලයන්ට වාහන කුලියට දෙන්නේ නම් ඔවුන්ගේ ලියකියවිලි හොඳින් පරික්ෂා කරන ලෙසත්, ලියකියවිලිවලට අමතරව ඔහුගේ ඡායාරූප ලබාගන්නා ලෙසත් පොලිසිය ඉල්ලා සිටියි.