බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් විදුලි ජනක යන්ත්‍ර කොටස් වශයෙන් සඳහන් කර නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් කෝටි පහමාරකට අධික වටිනාකමින් යුත් මෝටර් රථ 12ක් රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 


එම වාහන සිංගප්පූරුවේ සිට ඉකුත් දෙසැම්බර් මස 23 දින බහාලුම් තුනක් හරහා මෙරටට එවා තිබූ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

රේගු අවදානම් ඒකකයට මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව, ඔවුන් මෙම බහාලුම් සිය බාරයට ගෙන පරික්ෂණ ආරම්භ කර තිබූ බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. එම වාහන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් රාජ්‍යතාන්ත්‍රික ආවරණ යටතේ ආනයනය කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවකු ඉකුත් 07 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම රේගු භාරයට ගත් කන්ටේනර් තුන රේගු අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරාල්) විජිත රවිප්‍රිය මහතා ඉදිරියේ ඊයේ (12) මාධ්‍ය වෙත විවෘත කළ බවද හෙතෙම කීවේය.

- ඉන්දිකා රාමනායක -