ලොව පුරා රටවල් රැසකදී මේ වනවිට COVID-19 වසංගතයට එරෙහි එන්නත්කරණය ආරම්භ කර තිබුණද මෙම නව කොරෝනා වෛරසයට එරෙහි ප්‍රජා ප්‍රතිශක්තිකරණයක් මෙම 2021 වසර තුළදී බලාපොරොත්තු විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන ආචාර්ය සෞම්‍යා ස්වාමිනාදන් අනතුරු අඟවා සිටියි.
 
පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් දක්වා තිබේ. ඒ අනුව මෙම තත්වය හමුවේ ලොව රටවල් තවදුරටත් සිය ජනතාව අතර සමාජ දුරස්ථභාවය ඇතුළු මෙම වසංගතය යළි යළිත් ව්‍යාප්තවීම වැළැක්වීමේ මහජන සෞඛ්‍යාරක්ෂක පියවර අනුගමනය කිරීම අනිවාර්ය වී ඇතැයිද ඇය අවධාරණය කර සිටියි.


ආසන්න සති කිහිපයේදී බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය, ප්‍රංශය, කැනඩාව, ජර්මනිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය මෙන්ම තවත් රටවල් කිහිපයක්ම තම රටවල ජනතාව වෙත මෙම COVID-19 වෛරසයට එරෙහි එන්නත්කරණය ආරම්භ කර තිබේ.

මෙහිදී අදහස් දක්වන ආචාර්ය ස්වාමිනාදන්, "මෙම එන්නත් මගින් බොහෝ අවදානම් සහිත පිරිස් ආරක්ෂා කරගැනීම ආරම්භ කෙරුණත්, අපිට 2021 වසර තුළදී ජනගහනය තුළ ප්‍රතිශක්තිකරණයක් හෝ ප්‍රජා ප්‍රතිශක්තිකරණ මට්ටමක් වෙත ළගාවීමට නොහැකි වේවි.” යනුවෙන් පවසා සිටියි.

"මෙම තත්ත්වය ඉතා සීමිත රටවල් කිහිපයකදී පමණක් සිදු වුණත්, එය සමස්ත ලෝකය පුරාම ජනතාව ආරක්ෂා කරගන්න හැකියාවක් නැහැ.” ඇය පවසයි.

වසංගත සහ වෛරස විද්‍යාඥයන් පවසන ආකාරයට මෙවැනි වසංගත අවස්ථාවකදී රටක සමස්ත ජනගහනය ඉන් ආරක්ෂා වීමට නම් එරට ජනගහනයෙන් 70%ක් පමණ පිරිසකට එන්නත්කරණයක් ලබාදී ප්‍රජා ප්‍රතිශක්තිකරණයක් ලබාගැනීම අත්‍යවශ්‍ය වෙයි. කෙසේ වෙතත් COVID-19 වෛරසයේ පවතින ඉහළ ආසාදිත තත්වය හේතුවෙන් එවැනි ප්‍රජා ප්‍රතිශක්තිකරණයක් ළගා කරගත හැකි වේද යන්න සම්බන්ධයෙන්ද විද්‍යාඥයන් තුළ ගැටලුවක් මතුව තිබේ.