වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් බවට පත්කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ තීරණ ගැනීමට කැඳවූ සාකච්ඡාව යළි අසාර්ථක වීතිබේ.  වතු වෘත්තිය සමිති නායකයන්, හාම්පුතුන්ගේ සමේලනයේ  සාමාජිකයින්, කම්කරු සහ වැවිලි අමාත්‍යාංශ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ(07දා) පැවති මෙම සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වීම නිසා වතු කම්කරුවන්ගේ  දෛනික වැටුප පිළිබඳව තීරණය තවදුරටත් කල් යනු ඇත.



මේ හේතුවෙන් මෙම යෝජනාව පඩි පාලක සභාවට ඉදිරිපත් කිරීමට කම්කරු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති අතර පඩි පාලක සභාවට එම යෝජනා ඉදිරිපත් කිරීමට අමතරව කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.  මෙම යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් හාම්පුතුන්ගේ සම්මේලනය එකඟ කරගැනීමට   නොහැකි වුවහොත් සේවක අර්ධසාධක මුදල් නොමැතිව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට හෝ වෙනත් විකල්ප ක්‍රියාවකට  යොමුවීමටද අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.


වතුකරයේ ජනතාවට රුපියල් දහසක අවම දෙනික වැටුපක් ලබාදීම සඳහා රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බවත්, දෙපාර්ශ්වයටම සාකච්ඡා කර සාධාරණ විසඳුමකට ඒමට අවස්ථා රැසක් ලබාදුන් නමුත්, එයින් අවසන් විසඳුමකට ඒමට අපොහොසත් වූ නිසාත් වතු කම්කරු ජනතාවට සාධාරණය ඉටු කළ යුතු නිසාත් වතු කම්කරු ජනතාවට අවම  දෛනික වැටුප රුපියල් දහසක් කිර්ම සඳහා වන විකල්ප යෝජනාව ලබන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පැවසීය.


මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු වතු වෘත්තීය සමිති නායකයන්ද, සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර ඇල්ලේප්පොළ ඇතුළු වතු සමාගම් නියෝජිතයන්ද, අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතාද, කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාද ඇතුළුව පුද්ගලයන් 50 දෙනෙකු පමණ සහභාගීවී ඇත.  2021 ජනවාරි මස 01දා සිට වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රු.1000ක් බවට පත්කරන බවට රජය මීට පෙර පොරොන්දු වී තිබිණි.


-චාමර සම්පත්-