පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සංවර්ධන නිලධාරී සේවාවේ පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට කෝවිඩ්-19ට අදාළව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජය සකස් කළ නිවාඩු ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන බව සංවර්ධන නිලධාරි සේවා සංගමය සඳහන් කරයි.  කෝවිඩ්-19ට අදාළව රාජ්‍ය සේවකයන් රාජ්‍ය ආයතනවලට ගෙන්වීමේදී සමස්ත කාර්යමණ්ඩලවලින් කොටසක් පමණක්  දෙනිකව ගෙවීමට කටයුතු කළ යුතු බවත්, ඉතිරි පීරිස නිවසෙහි රැදීසිටිය යුතු බවත් එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියේය. 



සංවර්ධන නිලධාරි සේවාවේ වසරක පුහුණුවකට පසුගිය  වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බඳවා ගත් අතිවිශාල පිරිසක් මේ වනවිට අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු අධිකාරීන් වෙත අනුයුක්ත කර තිබෙන බවද ඒ මහතා පැවසීය.  එහෙත් කෝවිඩ්-19ට අදාළව රාජ්‍ය සේවකයන්ට හිමි වන නිවාඩු වරප්‍රසාදය මෙම පිරිසට ලබා නොදෙන බවත්, මේ නිසා සතියේ දින පහම මෙම පිරිසට රාජකාරියට වාර්තා කිරීමට සිදුව තිබෙන බවත් ලේකම්වරයා පවසා සිටියේය.


කෝවිඩ්-19 තත්වය තුළ රාජ්‍ය ආයතනවලට දෙනිකව ගෙන්වන සේවක ප්‍රමාණය සීමා කර තිබෙන්නේ, එම පීරිස් කෝවිඩ්-19 ආරක්ෂා කර ගැනීමට බවත්, එහෙත් පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට අදාළ නීතිය ක්‍රියාත්මක නොවන නිසා කැබිනට් මණ්ඩලය මේ පිළිබඳ කඩිනමින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන අදාළ පහසුකම් මෙම පිරිසට ලබාදිය යුතු බවත් ඒ මහතා පැවසීය.පවතින ක්‍රමවේදයට අනුව පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට මාසිකව වෛද්‍ය නිවාඩු දෙකක් ලබාදෙන බවත්, ඊට වඩා නිවාඩු ලබා ගැනීමේදී මාසික දීමනාවෙන් කොටසක් අඩු කර ගන්නා බවත් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.


-එච්.අයි. තුෂාර-