ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් තරග දෙකක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එංගලන්ත සංචිතයේ සිදුකළ දෙවැනි පී. සී. ආර්. පරීක්‍ෂණයෙන් කිසිදු ක්‍රීඩකයෙකුට "කෝවිඩ්-19' වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණය වී ඇත. ඒ අනුව සැලසුම්කරගත් පරිදි ශ්‍රී ලංකා -එංගලන්ත ටෙස්ට් තරගාවලිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත.
 
එංගලන්ත සංචිතයේ පළමු පුහුණු සැසිය පෙරේදා (06දා) සවස්රුවේ සූර්යවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, ඊයේ දිනයේදීද ඔවුන් පුහුණුවීම් කටයුතුවල නිතර වූහ. මේ සඳහා ජේම්ස් ඇන්ඩර්සන්, මාක් වුඩ්, ජෝ රූට් මෙන්ම කඩුලු රකින්නා වන බෙන් ෆෝක්ස් ඇතුළු ක්‍රීඩකයෝ රැසක්ම එක්ව සිටියහ. 
අයි. සී. සී. ටෙස්ට් ලෝක ශුරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවීම සඳහා  එංගලන්ත කණ්ඩායම පසුගියදා විශේෂ ගුවන් යානයකින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියහ.

එහිදී සිදුකළ පී.සී.ආර්. පක්‍ෂණයෙන් තුන්ඉරියව් ක්‍රීඩක මොයින් අලී 'කෝවිඩ්-19" ආසාදිතයෙකු ලෙස හඳුනාගනු ලැබීය. ඒ හේතුවෙන් අලි එංගලන්ත සංචිතයෙන් වෙන්කර තැබීමට කටයුතු කළ අතර, ඔහුට දින දහයක කාලයක් හුදෙකලා වී සිටිය යුතුව ඇත.  එමෙන්ම වේගපන්දු යවන ක්‍රිස් වොක්ස්ද ශ්‍රී ලංකාවට පැමිණීමේදී අලිගේ මෝටර් රථයෙන් බර්මින්හැම් සිට හිත්‍රෝ ගුවන්තොටුපළ දක්වා ගමන්කර ඇති හෙයින් ආරක්ෂිත පියවරක් ලෙස ඔහුද හුදෙකලා කර තැබීමට එංගලන්ත බලධාරීන් කටයුතු කළේය. කෙසේ නමුත් වොක්ස්ට ඊයේ (06දා) සිදුකළ පී. සී. ආර්. පක්‍ෂණයෙන් වෛරසය ආසානය වී නොමැති බව තහවුරු වී ඇත.

එහෙත් තවදුරටත් ඔහු එංගලන්ත සංචිතයෙන් වෙන් කර තබා ඇති අතර, බොහෝදුරට
තවත් දින කිහිපයකින් සිය සංචිතය සමගින් පුහුණුවීම් ඇරඹීමට වොක්ස්ටද අවස්ථාව  උදාවනු ඇත.  වෝක්ස්ට අමතරව එංගලන්ත සංචිතයේ අන්නෙකුත් ක්‍රීඩකයන්ගේ සිදුකළ දෙවැනි පී. සී. ආර්. පරීක්ෂණයෙන් වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට 'කෝවිඩ්-19" වෙරසය ආසාදනය වී ඇති බව වාර්තා වීනොමැත.

දෙරට අතර ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එහි පළමු තරගය එළඹෙන 14වැනිදා ආරම්භ කිරීමට සැලසුම්කර ඇත.  කෙසේ නමුත් මෙම තරග නැරඹීමට  ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව හිමි නොවේ.  එමෙන්ම එංගලන් මෙවර ක්‍රීඩා කිරීමට සිදුවන්නේ ඔවුන්ගේ ප්‍රධානම ප්‍රේක්‍ෂක කොට්ඨාසය වන ජනප්‍රිය බාමි ආමිවරුන්ගේ සහයෝගය නොමැතිවය.